» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/03/2022 - ඉරිදා ලංකාදීප
ධෛර්යය හා ශක්තියේ කාන්තා සංකේතයක් වූ සීතා දේවිය

රාමායනය පුරාණ ඉන්දියාවේ මහා වීර කාව්‍ය දෙකක් අතරින් එකකි. වසර හත්දහසකට ඈත ඉතිහාසයක් ගැන කරන දැවැන්ත නිර්මාණයක් බව සදහන් කළ යුතුය. එය නිර්මාණයක් නොව සැබෑවක් බවට අසීමිත විශ්වාසයක් තිබේ.

සීතා දේවිය මෙම වෘතාන්තයේ ඉතාම ධෛර්යයවන්ත චරිතයයි. ඉන්දියානුවන්ට ඇය දැවැන්ත ශක්තියකි.

ජාත්‍යන්තර කාන්තා දිනය ලබන අගහරුවාදාට යෙදී තිබේ. සුපුරුදු පරිදි කාන්තාව ඔසවා තබනු ඇති අතර ඇය ගේ භූමිකාව අගය කරනු ඇත. කාන්තාවක ගේ අභිමානය උදෙසා සීතා දේවිය ගේ කැපවීම ඉන්දිය ජන සමාජය මහත් ඉහලින් සලකයි. ඇය දේවත්වයෙහි තබා තිබේ. සියළුම ඉන්දියානුවන්ට ඇය සීමා මාතාවය. සම්ප‍්‍රදායික කාන්තාවක ගේ උත්තම සංකේතය වශයෙන් සැලකේ.

අතීතය ගවේශනය කරන අතර සම්ප‍්‍රදායික ඉන්දියානු සංස්කෘතියෙහි කාන්තාවට තිබුණ ස්ථානය සංකීර්ණය. දකුණු ඉන්දියාවේ ඇතැම් තැන්වල පුත‍්‍රයෙකු ගේ උප්පත්තිය වාසනාවක් සේ සලකති. ආදායම් උත්පාදනය කරන බව විශ්වාසය වී තිබේ. දියණියක ගේ විවාහයේ දී දායාද දිය යුතුය. පීඩිත පංතියේ ඉන්දීය දරු පවුල්වල් දියණියන් සිටීම හේතුවෙන් ඛේදවාචකවලට මුහුණ දී ඇති අවස්ථා තිබේ. විවාහයක දී දායාද පැතීම ඉන්දියාව තහනම් කර ඇත. කාන්තාව ගැන ආකල්ප වෙනස් කරන්නට හේතු වී තිබේ.

බුදු දහම කාන්තාවට හිමි ගෞරවය තහවුරු කරන්නට බලපෑ දර්ශනයකි. මහාමායා, ප‍්‍රජාපතී. යශෝධරා, සුජාතා සහ විශාඛා පමණක් නොව පටාචාරා වැනි චරිත පවා එයට සාක්ෂියකි. රාමායන පුරාවෘතය, කාන්තාවට උරුම විය යුතු සමාජ ගෞරවය ගැන සාකච්ඡා කෙරේ. ලෝක ප‍්‍රජාව ජගත් කාන්තා දිනය සමරන අතර ඉන්දීය සමාජය සීතා දේවිය ගේ දැක්ම, වීරත්වය නැවත නැවතත් පරිශීලනය කරමින් සිටී.

පුරාණ ඉන්දියාවේ අයෝධ්‍යා හි කෝසල අධිරාජ්‍ය පසුබිම් කරගෙන රාමායනය නිර්මාණ කර ඇත. අයෝධ්‍යා නගරය, නූතන ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයෙහි පිහිටා ඇත. එකල රජකම් කළ දශරථ රජුගේ පුත‍්‍රයා රාම කුමාරයාය. කුමාරයා සරණ පාවාගන්නේ සීතා දේවියයි. රාම කුමාරයා ගේ පියා එනම් දශරථ රජු මෙම යුවල මාලිගයෙන් පලවා හරී. සුළු මව කරන ලද බලපෑම එයට හේතුව බව දැක්වේ. රාම හා සීතා වනාන්තරය මැදින් දුෂ්කර ගමනක් අරඹන අතර රාමගේ සහෝදර ලක්ෂමන කුමාරයා ද මෙම ගමනට එකතු වෙයි. වනාන්තරයේ සීතා හුදෙකලාව සිටින අවස්ථාවක දඩුමොනරයෙන් අහසින් ගමන් කරන ලංකාවේ එවකට විසූ බව කියන රාවණා රජු සීතා දේවිය දැක ඇත. ඈ කෙරෙහි කැමැත්තෙන් පැහැරගෙන ලංකාවට පැමිණ තිබේ. ඇය රදවන්නේ සීතා එළිය ප‍්‍රදේශයේය. සීතා දේවිය නැවත අත්පත් කරගැනීම සදහා විශාල යුද්ධයකි. එය උද්වේගකර ලෙස රචනා කරන්නට රාමායනය කතුවර වාල්මිකී සමත්ව ඇත.

සීතා ගේ පැහැරගැනීම, ඇය රදවා තබන බව සහ ගලවා ගැනීම සදහා වූ ගැටුම සමග ලංකාවේ ස්ථාන විශාල ප‍්‍රමාණයක් ඉන්දීය සාහිත්‍යයට, සංස්කෘතියට එකතු වී තිබේ. වැලිමඩ නගරයට කිලෝ මීටර් හතරක් පමණ දුරින් නුවරඑළිය බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ පිහිටි දිවුරුම්පොල රාජ මහා විහාරස්ථානය ද මෙම සාහිත්‍යයට සම්බන්ධය.

සීතා දේවිය පැහැරගෙන එන ලද නමුත් කිසිම ආකාරයක හිරිහැරයක් රාවණ රජුගෙන් සිදු වී නැත. එය ලංකාවේ ඉතිහාසය අපට ඉතිරි කරන ඇති වටිනා සාක්ෂියකි. කාන්තාවන්ට ගරුත්වය දක්වන ලද බව ප‍්‍රකාශ කළ හැකි අවස්ථාවකි. බලහත්කාරයෙන් පැහැරගෙන එන ලද සීතා දේවිය ආරක්ෂිතව තබා ගන්නා රාවණා රජු ඇයට හිමිකරන දුන් යුක්තිය ලංකාවේ අනන්‍යතාවයට ලැබුණ විශාල ප‍්‍රසංසාවකි. රාම කුමාරයා සීතා ගැන සැක පහල කරන ලද බව කියැවෙන අතර ඇය ගිනි ජාලයකට පැන සිය පති භක්තිය ඔප්පු කොට ඇති බව සදහන්ය. දිවුරුම්පොල රජ මහා විහාරස්ථානය පිහිටි භූමිය එදා සීතා දේවිය ස්වකීය වෘතාව දිවුරා ප‍්‍රකාශ කරන ලද ස්ථානය බව හින්දු භක්තිකයෝ විශ්වාස කරති.

සීතා දේවිය ලක්ෂ්මී එනම් ධනය, තපස්වී එනම් කාන්තා පතිවෘතතාවය සහ සශී‍්‍රකභාවයට සංකේතයකි. කාන්තා දිනයේ දී සීතා දේවිය ගැන විශේෂත්වයක් නැත. එක්සත් නමුත් මැයි දහවැනි දා ඇගේ උපන්දිනය සේ සලකා විශේෂ පුජාවන් පැවැත්වීම ඉන්දියානු සංස්කෘතියේ කොටසකි. එදින නිවසේ විශේෂ මණ්ඩපයක් සකස් කරන අතර එහි සීතාවගේ ප‍්‍රතිමාවක් තැන්පත් කෙරේ. සීතා නමාමි යනුවෙන් එය නම් කරන බව සදහන් කළ යුතුව ඇත. රාම කුමාරයා ගේ සහ ලක්ෂමන ගේ පිලිරූ ද මෙම මණ්ඩපයෙහි පසෙක තබයි.

ජගත් ප‍්‍රජාව කාන්තා දිනය උත්කර්ශවත් කරන්නේ ඉන්දියාව ලෝකයේ නොයෙක් රටවල පවත්වාගෙන යන සම්ප‍්‍රදායික ආකෘතියට වෙනස් අරමුණක් සහිතවය. ශ‍්‍රමය පදනම් කරගැනේ. කාන්තා අයිතිවාසිකම් ගැන අවධාරණය කෙරේ. සමාන අයිතීන් සදහා කරන අරගලයකි. ඇමරිකාවේ සෝෂල් පක්ෂය නිව්යෝක් හි දී 1909 වසරේ පෙබරවාරි විසි අටවැනි දා කාන්තා දිනය සේ සලකා උත්සවයක් පළමුවෙන් පවත්වා තිබේ. කර්මාන්ත යුගයේ කාන්තාව මුහුණ දුන් පීඩා, අතරවර හා ශ‍්‍රම කොල්ලය මෙහි දී වැඩිම අවධානයක් දක්වන ලද කරුණුය. සමාන වැටුප් ලබා ගැනීම හා කාන්තාව දෙවැනි තලයේ ශ‍්‍රමිකයෙකු සේ සැලකීමට එරෙහිව පෙලගැසීමක් බව දැක්විය හැකිය.

මෙයින් පසු කාලය තුළ ලෝකයේ නොයෙක් රටවල කාන්තාව මුල් කරගෙන විශේෂිත උත්සව අවස්ථා සංවිධානය වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක කාන්තා දිනය වශයෙන් මාර්තු අටවැනි දා නම් කරන්නේ 1975 වසරේ සිටය. කාන්තාව හා දේශපාලනය අභිමුවෙහි ශ‍්‍රී ලංකාවට ද වැඩි අවධානයක් පවතින බව සිහිපත් කළ යුතුය. 1960 වසරේ දී සිරිමාවෝ ආර්. ඞී. බණ්ඩාරණායක මහත්මිය ශ‍්‍රී ලංකාවේ අගමැතිනය බවට පත් වූවාය. ලෝකයේ පළමු අගමැතිනිය වශයෙන් එතුමිය ශ‍්‍රී ලංකාවට මහත් ගෞරවයක් අත්පත් කර දී ඇත. ඉන් පසු දෙවතාවක් ද සහිතව තෙවතාවක් අගමැති ධුරය හොබවා තිබේ. එය අභිමානයට කරුණකි.

කාන්තාව හා මාතෘත්වය මතු කිරීම සදහා ඉන්දියාවේ විවිධ පිරිස් නොයෙක් ආකෘති වලින් ගෙන යන පිලිවෙල සහ ජන සංස්කෘතිය තුළ ඇති අධ්‍යාශය දැවැන්ත ප‍්‍රවාහයකි. පැරණි සිද්ධි මතුකොට ඒවා ගවේශනය කිරීම විශ්ව විද්‍යාලවල පවා සිදුකෙරේ. බිහාර් ප‍්‍රාන්තයේ වෙනම පර්යේෂණ කෙරෙන බව දැක්විය යුතුය. කාන්තාව සහ කාන්තා ගෞරවය ආරක්ෂා කරන ලද ලාංකිකත්වය ගැන පැරණි යටගියාව සොයාබලන විවිධ ක‍්‍රමවේද අපට ද අවශ්‍යය. ආර්ථිකය හා දේශපාලනය තුළ පවතින විවිිධ මතවාද කාන්තා සංස්කෘතිය හා කාන්තා ඉතිහාසය වෙත ද කැදවීම වැදගත්ය. ලාංකික ජන සමාජයේ කාන්තා ප‍්‍රතිරූපය, කාන්තාවගේ භූමිකාව වෙනස් මානයකින් සාකච්ඡා කළ යුතු අවධියකි.