» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/02/2022 - ඉරිදා ලංකාදීප
එළවළු හා පලතුරු පිටරටින් ගෙන්වන ලෝකයේ දැවැන්තම නිෂ්පාදකයා

මහා පරිමානයෙන් ආහාර බෝග නිපදවන රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන ඉන්දියාව හිමිකරගෙන ඇත. විශාල වශයෙන් නිපදවන නමුත් පරිභෝජනයට ප‍්‍රමාණවත් නැත. වෙළද පොලට අවශ්‍ය තරමට වෙනත් රටවලින් ආනයනය කරමින් සිටී. විශාල වියදමක් දරා පසුගිය වසරේ දී එලවලූ හා පලතුරු ගෙන එන ලද ප‍්‍රමාණය ගැන ඉන්දියානු ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර විවේචනයක් තිබේ. රට තුළ වගා කළ හැකි බව පෙන්වයි. එහෙත් ආනයන සීමා කළ හැකි පිලිවෙලක් නැත. රටට අවශ්‍ය තරමට ගෙන්වන්නට සිදුවී තිබේ.

පලතුරු ගැන අවධානය යොමු කරන විට ඇවකාඩෝ එනම් අලි පේර සහ අන්නාසි වලට ඉන්දියානුවෝ වැඩිම මිලක් ගෙවති. නවදිල්ලියේ සාමාන්‍ය වෙළද පොලේ අලි පේර කිලෝවක් රුපියල් තුන්සිය පනහක සිට ඉහළටය. ලංකාවේ මුදලින් රුපියල් දහසකට ආසන්නය. ඉන්දියාවට වැඩිම ප‍්‍රමාණයක් සපයන්නේ ටැන්සානියාව බව දැක්වේ. දකුණු අප‍්‍රිකාව, කෙන්යාව හැරුණු කොට ටැන්සානියාව මහා පරිමානයෙන් ඇවකාඩෝ වගා කරන අප‍්‍රිකානු රට වශයෙන් සදහන් කළ හැකිය. ඉන්දියාවේ අලිපේර වගාව සාර්ථක වී නැත. ඉන්දීය දේශගුණයට ගැලපෙන පරිදි අලූත් ප‍්‍රබේධ ගැන පර්යේෂණ සිදුවන නමුත් ඒවායෙන් මෙතෙක් ලැබී ඇති ප‍්‍රතිඵල සතුටුදායක එකක් නොවේ. අවුරුද්දකට මෙට්‍රික් ටොන් දහසක් පමණ ගෙන්වන බව දැක්වේ. අන්නාසි වලට ද සෑහෙන ඉල්ලූමක් ඇත. මුරිසි, පිලිපීනය, ඉන්දුනීසියාව ආදී රටවලින් අන්නාසි ගෙන්වයි.

නැවුම් එලවලූ හා පලතුරු ඉන්දියාවට අපනයනය කරන රටවල් අතර චීනය, ඇමරිකාව, එමිරේට්ස්, චිලී ඇතුළු රටවල් ගණනාවකි. චීනය හා ඉන්දියාව අතර මතබේධ ඇති නමුත් ආනයන වලට බාධාවක් මතු වී නැත. ඇපල්, චෙරි, බ්ලූබෙරි සහ කෙසෙල් ප‍්‍රධාන වශයෙන් ගෙන්වන පලතුරු අතර තිබේ. වැඩිම ඇපල් ප‍්‍රමාණයක් ගෙන්වන්නේ චීනයෙන් හා ඇමරිකාවෙන්ය.

ඉන්දියාවේ පවතින ඉල්ලූම තවදුරටත් වර්ධනය වනු ඇති බව ප‍්‍රකාශ කළ හැකි වැදගත් කරුණකි. කොවිඞ් බලපවත්වන කාලය අතරතුර පවා ඉන්දියාවේ එලවලූ පලතුරු හා ධාන්‍ය අස්වැන්න සියයට තුනකට ආසන්න ප‍්‍රමාණයකින් ඉහළ නැග ඇත. එහෙත් වෙළද පොලට ප‍්‍රමාණවත් නැත. 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 168 ක එලවලූ හා පලතුරු ගෙන්වා ඇකි බව වාර්තා දක්වයි.

ඉන්දීය මධ්‍යම රජය හා පලාත් ආණ්ඩු කෘෂිකර්මය නගා සිටුවීම අරමුණු කරගෙන අලූත් ප‍්‍රතිපත්ති සකස් කරමින් සිටී. සහනාධාර ක‍්‍රම දියත් කරයි. සහතික මිල ක‍්‍රම හදුන්වා දී තිබේ. එහෙත් දිනෙන් දින කෘෂිකර්මයෙන් බැහැර වන පිරිස වැඩිවෙමින් පවතී. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි අඩු ආදායමකට ගොවිතැන් කිරීම වෙනුවට නගරයට පැමිණ කුලී ඉපැයීම වාසිදායක බව කල්පනා කරන පිරිසක් පලාත්බදව වෙසෙති. ඉඩම් බෙදීයාම සහ අස්වැන්න අලෙවිය සම්බන්ධ ගැටළු පැන නැගී තිබේ. මෙම තත්ත්ව සලකා බලන ලද ඉන්දීය මධ්‍යම රජය අස්වැන්න මිල දී ගැනීම සදහා මෙතෙක් පැවැති ක‍්‍රම වෙනස් කරන අණ පනත් පාර්ලිමේන්තුවට යෝජනා කළේය. පුද්ගලික අංශ්‍යට ගොවින්ගේ නිෂ්පාදන මිල දී ගත හැකිවනු ඇත. කෙසේ නමුත් සංවිධානාත්මක ගොවි පිරිස් එම තීරණයට එකහෙලා විරුද්ධත්වය පළ කළහ. නවදිල්ලිය තෙක් පා ගමනින් පැමිණ නගර වටලා උද්ඝෝෂණයක නිරත වූහ. ගෙවියන් හා ආරක්ෂක අංශ අතර ගැටුමම් ඇතිවිය. අවසානයේ දී ඉන්දීය රජය පනත් තුනක් ඉල්ලා අස්කරගත් බව නිවේදනය කළේය. ගොවි ජනතාව එයට ප‍්‍රීතිඝෝෂා නගමින් සතුට පළකරනු පසුගිය කාලයේ දැකගත හැකිවිය.

ගොවි ජනතාව නිපදවන අස්වැන්න විකුණාගැනීම කෙසේ වෙතත් රටට අවශ්‍ය තරමට ගොවිතැන කරගැනීමට බාධා මතු වී තිබේ. අනෙක් අතට වැඩිවන ජනගහනයයි. වසර 2024 වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත් වනු ඇතැයි විශේෂඥ වාර්තා දක්වයි. එය බිලියන 1.5 ක් වනු ඇති අතර චීනයේ ජනගහනය ද ඉක්මවන ප‍්‍රමාණයකි. මෙම අති විශාල ජනගහනයට ආහාර සම්පාදනය තරමක ගැටළුවක් වනු ඇත.

ආර්ථික වශයෙන් ඉහළ තැනක පසුවන නමුත් ඉන්දියාවේ දුප්පත් ජන කොටස බලවත් දුෂ්කරතා මැද ජීවත් වෙති. දුප්පත් ජන කොටස් කුස පුරවාගැනීම ස`දහා ධාන්‍ය පමණක් ගනිති. පසුගිය කොවිඞ් කාලයේ දුරකතන මගින් කරන ලද සමීක්ෂණයක් අනුව දෛනික ආහාර ගැන තොරතුරු හෙළිදරව් කර ගෙන ඇත. පලාත් විස්සක් හා කලාප තුනක තොරතුරු පළ කරන එක්සත් ජාතින් ගේ ළමා අරමුදල සියයට තිස්පහක් දෙනා දවකට එක වේලක් ොහ් මගහැර නින්දට යන බව දක්වා තිබේ. සියයට තිස් අටක පිරිසක් දක්වන පරිදි සමහර දවස්වල එකම වේලක් හෝ ආහාර නොලැබෙන අවස්ථා පසුකර ඇත. ආහාර වැඩිම ප‍්‍රමාණයක් නිපදවන සහ ධාන්‍ය අපනයනය කරන රටවල් අතර ප‍්‍රමුඛ තැනක සිටින ඉන්දියාව වැනි රටක මෙම තොරතුරු ඉතාමත් විස්මිතය.

ආර්ථික වර්ධනය හා ජනගහනය ඉහළ යන බවට කරන වාර්තා අනුව ඉන්දියාව හොද වෙළද පොලකි. එලවලූ හා පලතුරු වලට සෑහෙන ඉල්ලූමක් දිග කාලයක් පවතිනු ඇත. සීනි හා ආහාර පිලියෙල කරනු සදහා අවශ්‍ය තෙල් නිෂ්පාදනය කරන මහා පරිමාන සැලැස්මක් දැන් ක‍්‍රියාත්මක කරයි. ආනයනය සදහා වැය කරන ධනය ඉතිරි කරගැනීම එහි අරමුණ බව කියැවේ. එහෙත් එලවලූ හා පලතුරුවලට ඇති ඉල්ලූම අවසන් නොවනු ඇත.

නොබෝදා චිලී රාජ්‍යය ප‍්‍රකාශයක් කරමින් ඉන්දියාව ඇතුළු දකුණු ප‍්‍රදේශයට වැඩිම ප‍්‍රමාණයක් එලවලූ හා පලතුරු අපනයනය ගැන ප‍්‍රමෝදයකින් පසුවන බව දක්වා ඇත. දකුණු ඇමරිකානු රටකි. ඉන්දියාවේ සිට චිලී දක්වා දුර කිලෝ මීටර් දහ හත් දහසක් පමණ වන අතර ගුවනින් ගමන් කරන්නට ගතවන කාලය පැය විසි එකක් බව දැක්වේ. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර දුර කිලෝ මීටර් හැට ගණනකි. කොළඹ සිට දිල්ලියට පැය තුනක් ඇතුලත ගුවනින් ගමන් කළ හැක. නව දිල්ලිය පමණක් නොව ඉන්දියාවේ නගර කිහිපයකට කොළඹ සිට සෘජු ගුවන් ගමන් තිබේ. ප‍්‍රධාන සමාගම් හයක් පමණ දෙරට අතර ගුවන් ගමන් මෙහෙයවයි. මෙකී භූගෝලීය සමීප බව අප අමත කර තිබේ. ලෝකයේ අනෙක් කෙළවරකින් එලවලූ හෝ පලතුරු ගෙන්වා ගන්නා තෙක් අපට එය ගැන කිසිම අවධානයක් නැත. එයට හේතුව කුමක්ද?

නිසි පිලිවෙලක් හා ප‍්‍රමිතියක් නැත. ශ‍්‍රී ලංකාවේ සෑම තැනකම අලි පේර වගා කළ හැක. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අලූත් ප‍්‍රබේධ හදුන්වා දී තිබේ. වෙනත් භෝග වගා කළ නොහැකි රට තුළ ඇති ඕනෑම තැනක අලි පේර පහසුවෙන් වැවෙන අතර පොහොර අවශ්‍ය නොවේ. ශ‍්‍රම අවශ්‍යතාව සීමිතය. මුල් කාලයේ රැකබලා ගැනීම හොදටම ප‍්‍රමාණවත්ය. තවත් පලතුරු වර්ග ගණනාවකි. ඉන්දියානු වෙළද පොලේ ඇත්තේ කෙසෙල් වර්ග කිහිපයක් පමණකි. අපට කෙසෙල් විශේෂ ඕනෑ තරම් තිබේ. අන්නාසි වගා කළ නොහැකි තැනක් තිබේද? අඹ, ජම්බු, දිවුල් සහ නෙල්ලි යනාදී පලතුරු විශාල වශයෙන් ප‍්‍රයෝජනයට නොගෙන විනාශවීම සුලබ දසුනකි. සුළු පරිමාන අපනයනකරුවන් මෙවැනි පැති ගැන අවධානය යොමු කළ යුතුය. ඉන්දියාවේ ඇති අවස්ථා වලින් අප ප‍්‍රයෝජන ගෙන නැත. අප අවට ඇති ඉඩම්වල වගා කළහොත් එම අස්වැන්න පිටරට යැවිය හැකි ක‍්‍රම ගණනාවකි. ඉතාම ඉක්මනින් සහ පහසුවෙන් ඉන්දියාවට අපනයනය කළ හැකි අතර එය හොද ආදායම් මාර්ගයක් බව සදහන් කළ යුතුය.

ග‍්‍රාමීය වශයෙන් ව්‍යවසායකයන් සම්බන්ධ කරන අතර අපනයනයට නැඹුරු කරන ප‍්‍රතිපත්ති අවශ්‍යය. ඉන්දියාවය කෘෂි භෝග අපනයනය කරන පිරිස සීමිතය. ව්‍යවසායකයෙකු අලූතින් ඉදිරිපත් වෙන්නේ නැත. එයට හේතු ගණනාවකි. අපනයනයට බලපත‍්‍ර ගැනීමේ දී සෑහෙන ලිපි ගොනු ඉදිරිපත් කරන්නට සිදුවේ. බදු ගොනුවක් පවා විවෘත කරන්නට සිදුවන බව අපනයනකරුවෝ ප‍්‍රකාශ කරති. මෙම අජශ සරල හා ලිහිල් කරන අතර සුළු ගැනුම්කරුවන් සමග සම්බන්ධ කරන අලූත් ක‍්‍රම ගැන නිලධාරීහු කල්පනා කළ යුතුය. ව්‍යවසායකයන්ට ද වගකීමක් තිබේ. ආණ්ඩුවලින් උදවුකරන, නොමිලේ මාර්ගය දක්වන තෙක් බලා සිටිය යුතු නැත. ලෝකය එකම සන්නිවේදන ජාලයකි. අවශ්‍යථා ගැන තොරතුරු ඇති තරම් හුවමාරුවෙයි. නිලධාරීන් මත යැපෙන්නේ නැති අලූත් පැති දියුණුවෙමින් තිබේ. භාණ්ඩ මිල දී ගන්නා දැවැන්ත ඔන්ලයින් යාන්ත‍්‍රණ ඇත. හොද ප‍්‍රමිතියකින් තරගකාරී මිලට ඉදිරිපත් කළහොත් අවස්ථා ඇත.