» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/12/2021 - ඉරිදා ලංකාදීප
බුද්ධගයා විහාර සංකීර්ණයෙන් නැගෙන සදහම් නද

බුද්ධගයාව ලෝක වාසී බොදුනු බැතිමතුන් මහත් ගෞරවයෙන් වන්දනාමාන කරන ස්ථානයකි. බෝසතාණෝ බුද්ධත්වයට පත්වන්නේ එහි දී ය. මහා බෝධිය සහ වජ‍්‍රාසනය ඉතාම වැදගත් තැන්ය. ලෝක උරුමයක් වශයෙන් ආරක්ෂා කෙරේ. බුද්ධගයා විහාර සංකීර්ණය ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයට අයත්ය.

ගිහි ගෙය අත් හරින සිදුහත් කුමරු නිවන සාක්ෂාත් කරගන්නා අරමුණෙන් වෙහෙසෙයි. ගුරුවරුන් සොයා ගොස් තිබේ. සත්‍ය අවබෝධකරගන්නට ප‍්‍රයත්න දරා තිබේ. සාර්ථක වී නැත. බුද්ධගයාවට කිලෝමීටර් දොලහක පමණ දුරින් පිහිටි තැනකට පැමිණෙන සිදුහත් තවුසා සැප අත්හැර සිරුරට දුක් දීමෙන් දුක අවබෝධ කරගන්නට උත්සාහ කරයි. හය වසරක දුෂ්කර ජීවිතයක් ගත කරයි. එහි කදු මුදුනක කුඩා ගල් ගුහාවක් ඇත. දුර්ගේශ්වරී යනුවෙන් අද හදුන්වයි. එහි විසූ බෝසතාණෝ සිරුරට අප‍්‍රමාණ දුක් දීමෙන් සත්‍ය අවබෝධ කරගත නොහැකි බව සාක්ෂාත් කරගෙන පසුව ගයාවෙහි බෝ සෙවණකට පැමිණ ඇත. එහි දී අධික සැප හෝ අධික දුක නැති මධ්‍යස්ථ ප‍්‍රතිපදාවක් අනුගමනය කර ඇත. බෝසතාණෝ බුද්ධත්වයට පත්වන ස්ථානය ගයාවයි. එහෙයින් බුද්ධගයාව බවට පත්වෙයි. සෙවණ දුන් බෝධිය, වඡ්රාසනය සහ සත් සතිය ගත කළ ස්ථාන තහවුරු කරගෙන තිබේ. 1949 වසරේ දී බිහාර් ආණ්ඩුව විශේෂ පණතක් මගින් බුද්ධගයා විහාර කළමණාකරන කමිටුව ස්ථාපිත කරන ලදී. පණත අනුව බුද්ධගයාව පාලනය කරන උපදේශක මණ්ඩලයක් පත් කරගෙන ඇත. මෙම මණ්ඩලයේ යෝජනා සහ අදහස් අනුව එහි ඓතිහාසික ස්ථාන සහ දේපොල ආරක්ෂා කිරීමට බිහාර් ප‍්‍රාන්තය බැ`දී සිටී.

බුද්ධගයා විහාර කළමනාකරණ කමිටුව වසරකට වතාවක් මුණ ගැසේ. බිහාර් දිස්ත‍්‍රික් කොමිෂනර්වරයා එහි වගකීම උසුලයි. බෞද්ධ රටවල් දහයක නියෝජිතයෝ නිල බලයෙන් කමිටුව නියෝජනය කෙරෙති. වසර දෙකකට වතාවක් සභාපතිවරයා පත් කරගැනේ. කොවිඞ් වසංගත තත්ත්වය හෙයින් ඉකුත් වසරේ කළමනාකරණ මණ්ඩලයට හමුවිය නොහැකි විය. වියට්නාමය ඉදිරි දෙවසර සදහා සභාපතිත්වයට තෝරා ගැණින. ශ‍්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, කොරියාව ඇතුළු රටවල තානාපතිවරු නොඑසේනම් මහ කොමසාරිස්වරු මුණ ගැසී මහා බෝධි විහාර සංකීර්ණ ප‍්‍රදේශයේ සංරක්ෂණ කටයුතු හා ඒවායේ ප‍්‍රගතිය ගැන සාකච්ඡා කරති.

බුද්ධගයා විහාරය වජ්රාසනව ඉදිකරන්නේ වීරදේව නමැති භික්ෂුවක් බව ඉතිහාසය දක්වයි. පසුව හින්දු භ‍්‍රාහ්මණ පිරිසක් එය පුළුල් කොට තනවා ඇත. ධර්මාශෝක රජ තුමා අඩි 170 ක් උසට කරවන ලද බව සදහන්ය. මහා බෝධියට ද වරින්වර උවදුරු පැමිණ ඇත. ධර්මාශෝක රජතුමන්ගේ කාලයේ දී තරුණ බිසවක එය විනාශ කරන්නට උත්සාහ කර තිබේ. බෙංගංලයේ රජකම් කළ අයෙකු හා පසුව දොලොස්වැනි සියවසේ දී ඇෆ්ගන් ඉස්ලාම් ආක‍්‍රමණිකයන්ගේ බලපෑම්වලටද ගොදුරු වී ඇති බව අනාවරණය වන කරුණකි. බිහාර් හි ඉපැරණි නාලන්දා විශ්ව විද්‍යාලය විනාශ කරන ලද අතර බුද්ධගයාවට ද එහි හානිය එල්ලවිය.

බුද්ධගයාව ඇතුළු ස්ථානවල පවතින වර්තමාන පුණර්ජීවනයය ඇතිකරන්නේ අනගාරික ධර්මපාල තුමන් බව සදහන් කළ යුතුව තිබේ. ඉන්දියාවේ සංචාරය කරන එතුමා අන්‍යාගමිකයන් අත්පත් කරගෙන ඇති බෞද්ධ සංකේත දැන මහත් කම්පාවට පත්වෙයි. ඒවා නැවත බෞද්ධ උරුම සේ ප‍්‍රතිශ්ඨාපනය කරන ක‍්‍රියාමාර්ග අරඹයි. මහත් කැපවීමෙකින් හා දුක් පීඩා ඉවසමින් එකී කාර්ය භාරයෙහි නිරත වූ බවට සාක්ෂි තිබේ. 1891 වසරේ දී මහා බෝධි සංගමය ස්ථාපිත කරන එතුමෝ එහි සිට සියළු කටයුතු සංවිධානය කළහ. එවකට ඉන්දියාව පාලනය කළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ඔහුට සහාය දී ඇත. සාරානාත් ප‍්‍රතිශ්ඨාපනය කරන හෙතම මුලගන්ධ කුටි විහාරය ඉදිකර පසුව පාසලක්, පුස්තකාලයක්, ආරාමයක් ඉදිකරයි. වන්දනාකරුවන් ස`දහා මුලික පහසුකම්වත් නොතිබුණ අතර ධර්මපාල තුමන් ගේ පරිශ‍්‍රමයෙන් නවාතැන්පොලක් ද ඉදිකර ඇත.

මහා බෝධිය ප‍්‍රතිශ්ඨාපනය මහත් කලබැගෑනියක් ඇති කරන ලද බව අනාවරණයවන කරුණකි. එහි හින්දු වටපිටාවක් තිබුණි. වජ‍්‍රාසනය ආසන්නයේ ශිව දෙවියන් උදෙසා හින්දු සංකේත තනා තිබුණ බව දැක්වේ. ඒවා ඉවත් කරන පියවර පහසු වූයේ නැත. එහි ඉඩම් හින්දු ඉඩම් හිමියෙකුට අයිතිව තිබුණි. ගැටුම් හා මතබේධ මැද මහා බෝධිය අද පවතින තත්ත්වයට පමුණුවා තිබේ. ලෝක වාසී බෞද්ධ ජනතාව එකී ප‍්‍රයත්නය වෙනුවෙන් ලබා දී ඇති ආශීර්වාදය මෙහි දී කෘතවේදීව සදහන් කළ යුතු කරුණකි.

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන කරා පැමිණෙන බැතිමතුන් දැනට සීමිතය. තවමත් කොවිඞ් වසංගත තත්ත්වයේ බලපෑම පවතින බව පෙනේ. මහා බෝධි සංගමය නියෝජනය කරන විහාරස්ථාන ඇතුළු අනෙකුත් සංවිධාන මගින් මෙහෙයැවෙන විහාරස්ථාන සෑහෙන ප‍්‍රමාණයක ලාංකේය ස්වාමීන්වහන්සේලා වැඩ වාසය කරති. මහාබෝධි සංගමයේ මුලස්ථානය පිහිටියේ කල්කටාවෙහි ය. පැල්වත්තේ සීවලී හිමිපාණෝ එහි ශාසනික කටයුතු කරගෙන යමින් සිටිති. යටියන්තොට රාහුල හිමිපාණන් ගේ ප‍්‍රධානත්වයෙන් ඒ. ඥාණිස්වර හිමිපාණෝ අප මෙහි අවධානය යොමු කරන බුද්ධගයාවෙහි වැඩ වාසය කරමින් දිනපතා වතාවත් හි නිරත වෙති. ඉතාම දුෂ්කර අවධියක් පසුකොට ඇත. ඇතැම් දිනවල දාන කටයුතු පවා උන්වහන්සේලා පිරිමසා ගෙන තිබේ. පසුව ශ‍්‍රී ලංකාව ඇතුළු ලෝකයේ නොයෙක් රටවල වෙසෙන බොදුනුවෝ ආහාර ද්‍රව්‍ය අන්තර් ජාල ඇනවුම් මගින් ලැබෙන්නට සලස්වා ඇත. අතිශය තීරණාත්මක වකවානුවකි ‘‘ලාංකිකයනි අවදිවව්, බුද්ධගයාව බේරා ගනිව්’’ යනුවෙන් නැගුණ හඩ නැවතත් මතු කළ යුතු කාලයකි.

සංකීර්ණ සමාජ ව්‍යුහය අවබෝධ කරගත යුතුව තිබේ. තවදුරටත් කැපවෙන්නට ශ‍්‍රී ලංකාවෙන් වැඩම කර ඉන්දියාවේ විහාරස්ථානවල වෙසෙන ස්වාමීන් වහන්සේලාට සිදුවී ඇත. ඉතාම සංකීර්ණ සමාජ පරිසරයක ඉවසිලිවන්තව ක‍්‍රියාත්මක වෙමින් සිටින බව සදහන් කළ යුතුව ඇත. ඉන්දියාවේ විහාරස්ථානවල වැඩවාසය කරන හිමිපාණන් වහන්සේලා දෙස අවධානයෙන් සිටින පාර්ශව සිටී. ඇතැම් භික්ෂු වේශධාරී පිරිස් පවා නොයෙක් රටවලින් පැමිණෙන බෞද්ධ බැතිමතුන් නැඹුරු කරගන්නා වෑයමක සිටින බව පෙනේ. ආරක්ෂා කරගැනීම සදහා අප‍්‍රමාණ අවධානයක සිටින්නට සිදුවී තිබේ. හින්දු භක්තිකයන් ඇතුළු නොයෙක් ආගම්වල ජනී ජනයා බුද්ධගයාවට ප‍්‍රවේශවන අතර පැරණි හින්දු යටගියාව ගැන කරුණු සොයා ඒවා යළි අතට ගැනීමට ද උත්සාහ නොකරනවා නොවේ. හින්දු සංකේත තිබුණ ස්ථාන සොයා නිතිපතා එහි පුෂ්පෝපාහාර පවත්වති.

කොවිඞ් වසංගත තත්ත්වය පාලනය වූ පසු ඉන්දු ශ‍්‍රී ලංකා බෞද්ධ සංචාර නැවත ඇරඹෙනු ඇත. දෙරට අතර ගමනාගමනය ලිහිල් කරන්නට ඉඩ තිබේ. ඉන්දීය රජය ද හින්දු ආගම හා සමාන අවස්ථාවක් බුදු දහමට ඇති කරමින් සිටී. බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව, රැකවරණය හා එම තැන්වලට ලගාවන පහසුකම් ඇති කරන යෝජනා ක‍්‍රම අරඹා ඇත. ගුවන් තොටුපොල හා අධිවේගී මාර්ග පද්ධති ගණනාවක් අලූතින් සකස් වෙමින් තිබේ. නවදිල්ලි නුවර පිහිටි ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය බෞද්ධ ආගමික කොටසක් වෙනම ස්ථාපිත කරන්නට යයි. එහි බුද්ධ චරිතයට සම්බන්ධ කෞතුක භාණ්ඩ හා සංස්කෘතික අංග සංරක්ෂණය කර ඇත. කොවිඞ් වසංගතය හේතුවෙන් සසල වූ මනුෂ්‍ය සිත් සතන් නැවත සම්මා සතිය, යහපත් සිහිය කරා කැදවන වැඩමුළු, සාකච්ඡා සහ සම්මන්ත‍්‍රණ ඉන්දියාවේ විවිධ ස්ථාන වල පැවැත්වෙයි. ඒවායෙහි කටයුතු සදහා වෙනදා නොතිබුණ උනන්දුවක් පවතින බව ද සදහන් කරන්නට අවශ්‍යය.

ඉන්දියාව හා ලංකාව අතර බෞද්ධ සබදතා අනෙක් සියළු පැතිවලට වඩා ශක්තිමත්ය. ධර්මාශෝක රජතුමා සිය දරුවන් දෙදෙනා එනම් මිහිදු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට එවන්නේ දහම හා දහම සමග බැදුණ සංකේත සමගය. ඉන්දියාවේ බෞද්ධ ලක්ෂණ කිසියම් පිරිහීමක තිබුණ නමුත් නැවතත් නැගී වර්ධනය වෙමින් පවතී. ලංකාවේ ද විවිධ කාලවකවානුවල සිදුවූ සාසනයේ පිරීහීම වලකා නැවතත් නගා සිටුවාගෙන ඇත. සියම් දේශයෙන්, මියන්මාරයේ රාමඤ්ඤ සහ අමරපුර වැනි නගරවලින් පෝෂණය වී තිබේ. ඉන්දු ලංකා සබදතා අතර බුදු දහම පළමු කොට තැබිය හැකිය. මහා බෝධි මහා විහාරය ඇතුළු ස්ථාන සම්බන්ධ කරගෙන සද්ධර්මය පතුරුවන මාර්ග ඇතිකරගත යුතුය. ඉන්දියාවේ විශ්ව විද්‍යාල සම්බන්ධකරගෙන භික්ෂුන්වහන්සේලා පුහුණු කරන පිලිවෙලක් සකස් කරන අවස්ථාවක් තිබේ. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇතුළු රට පුරා ඇති උසස් අධ්‍යාපන ස්ථාන ඉන්දියාවේ ශාස්ත‍්‍රාල සමග තිබුණ සම්බන්ධතා ගැන ඉතිහාසයේ ඇත. බිහාරයේ පැරණි නාලන්දා විශ්ව විද්‍යාලයේ විභූතිය නැවත ගොඩනැගෙමින් තිබේ. මහා බෝධිය, මහා විහාරය කේන්ද්‍ර කරගෙන අලූත් ව්‍යායාමක් අරඹන්නට අවශ්‍යය.