» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/06/2022 - ඉරිදා ලංකාදීප
දඩුමොනරයට ඉහළින් ඉගිල්ලෙන සැලසුම හදන භාරත් ඩ්‍රෝන

රාමායනය ඉන්දියානු සංස්කෘතියෙහි කොටසකි. මහා සෘෂි වාල්මිකි විසින් රචනා කරන රාමායන කාව්‍ය ඉන්දියානු ආත්මයේ එක කොටසක් බව සදහන් කළ හැකිය. එකී පුරාවෘතයට අනුව රාවණ රජු විසින් සීතා දේවිය ලංකාවට පැහැරගෙන එන ලද අතර නුවර එළිය ප‍්‍රදේශයේ ආරක්ෂිතව රදවන ලද බව දැක්වේ. මෙරට ජන සාහිත්‍යයට අනුව එලෙස කැටුව එන්නේ දඩු මොනරයකින්ය. ගුවනින් යා හැකි විශේෂ යන්ත‍්‍රයක් වන එය, ගමන් බිමන් සදහා රාවණ රජු භාවිතා කරන ලද අතර තොටුපොල වශයෙන් භාවිතා කළේ වාරියපොල බව ද පැවත එන විශ්වාසකි. මෙකී කරුණු සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි රහිත බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. එහෙත් වසර හත් දහසකට පෙර සිදුවූ බව කියැවෙන මෙම සිද්ධි පහසුවෙන් අමතක කරන්නට ලාංකික ජන සමාජය සූදානම් නැත. ආසියාවේ රටවල් ගණනාවක විහි දී ඇති රාමායනය පුරාවෘතය එයට මහත් අනුබලයක් සපයයි.

දඩුමොනර යාත‍්‍රා ගැන මහත් අභිමානයකින් සිටින ශ‍්‍රී ලංකාව ගුවන් ගමන් සම්බන්ධයෙන් බරපතල පිරිහීමකය. ජාතික ගුවන් සේවය පවත්වාගෙන යා නොහැකි තැනට පත්ව ඇත. අසල්වැසි ඉන්දියාව ගගන ක්ෂේත‍්‍රයෙහි අලූත් ජවයකින් නැගී සිටිමින් සිටී. ගුවන් ගමන් පහසුව සදහා රට පුරා ගුවන් තොටුපොල රාශියක් ඉදිකරන ඉන්දියාව ඩ්‍රෝන යානා තාක්ෂණයට ද ප‍්‍රවේශ වී සිටී. පුද්ගලික අංශයට විවෘත කිරීම විශේෂත්වයකි. පසුගිය දා භාරත් ඩ්‍රෝන මහෝත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ඉන්දීය අගමැතිවරයා ඩ්‍රෝන තාක්ෂණය ජන ජීවිතයේ පහසුව සදහා උපයෝගී කරගත යුතු බව කියා සිටියේය. සියළුම අමාත්‍යංශවලට හැකි සෑම අවස්ථාවකම ඩ්‍රෝන යානා භාවිතා කරන්නට උත්සුකවන සේ උපදෙස් නිකුත් කර ඇත.

භාරත් ඩ්‍රෝන සංකල්පය හදුන්වා දෙන උත්සවයේ දී ප‍්‍රකාශ වූ කරුණු එහි ව්‍යාපාරික සංකල්පයක් ද ඇත. වසර 2026 වන විට ඉන්දීය රුපියල් කෝටි පහලොස් දහසක ආදායමක් ගෙන එන තැනට පත් කිරීම ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අභිලාශය වී තිබේ. ඉන්දියාවේ දැනට මෙහෙයවන ඩ්‍රෝන යාත‍්‍රා ගණන 270 ක් බව ද මෙහි දී අනාවරණය විය.

ශ‍්‍රී ලංකාවේ අහස ආයෝජනය කරන ආකාරය ගැන අපට පැහැදිලි දැක්මක් නැත. විශාල ගුවන් අවකාශයක් තිබේ. එහි පුලූල් ආයෝජනය කරන්නට තරම් වත්කමක් රජයට නැත. සමහර අංශවල ඒකාධිකාරය රජයට තිබිය යුතු බව සමාජයට ඒත්තු ගන්වා ඇති අදහසකි. එයට අනුව සලකනවිට අති විශාල අලාභයක් ලබන ගුවන් සේවය ජාතික වස්තුවකි. එහි වෙනස්කම් ඇති කර, රටට ආර්ථික වාසියක් ඇති කරන පිලිවෙලක් ගැන රටට උනන්දුවක් නැත. රාවණ යුගය, දඩුමොනරය ගැන මහා ආඩම්බරයෙන් කතාකරන නමුත් ඩ්‍රෝන යාත‍්‍රා සදහා අසීමිත බිය තවත් පැත්තකි. ඩ්‍රෝන වලට ඉඩදිය යුතු නැති බව ඇතැම් පිරිස් තරයේ විශ්වාස කරයි. අනාගතයේ දී ලෝකයේ හැඩතලය වෙනස් කරන ආයෝජනයක් සේ ඉහළම පිලිගැනීමකට ලක්ව ඇති ක්ෂේත‍්‍රයක් ගැන පුලූල් දැක්මක් ඇතිව ක‍්‍රියා නොකරන්නේ ඇයි? රටක්, ජාතියක් වශයෙන් අපට ආත්ම ශක්තිය ඇති කරගත යුතුව තිබේ. අනාගතය ගැන දර්ශනයක් ගොඩනගා ගත යුතුය. ඉතිහාසයේ අත්පත් කරගෙන සිටි ජයග‍්‍රහණ බවට විශ්වාස කරන ලද අංශ අද රටට ඇති කරන හීනෝන්මාදය ගැන ප‍්‍රශ්න කළ යුතුය. සමාජයක් වශයෙන් පසුගාමීවීම අයහපත් ප‍්‍රතිඵල ඇති කරනු ඇත. රාවණා යුගය ගැන කතා කරන ලාංකිකයන් ගුවන් ආර්ථිකය කෙරෙහි තීක්ෂණ විය යුතුය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සදහන් කරන පරිදි ඩ්‍රෝන හැසිරවීම ජංගම දුරකථන භාවිතය තරම් සරල දෙයක් කළ යුතුව ඇත. භාරත් ඩ්‍රෝන මහෝත්සවය සහ ප‍්‍රදර්ශනය ඇරඹීමෙන් පසු අගමැතිවරයා සියළුම අමාත්‍යංශවල නිලධාරීන්ට එය නැරඹීමට එන ලෙස දැනුම් දී ඇති අතර ඩ්‍රෝන මගින් ජීවිත පහසු කරන සහ ව්‍යාපාර හිතකර වාතාවරණයක් ඇති කරන අවශ්‍යතාව අවධාරණය කර තිබේ. ඉන්දියාව ඩ්‍රෝන යාත‍්‍රා සම්බන්ධ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් විය යුතු අතර සෑම පුද්ගලයෙකු අත ස්මාට් ජංගම දුරකතනයක් පවතින හා සමානව සෑම ගොවිපොලකම ඩ්‍රෝන යාත‍්‍රාවක් සතු විය යුතු බව අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත.

අදහස් වලට පමණක් සීමා නොවන ඉන්දියානු ආණ්ඩුව එක වැදගත් පියවරක් වශයෙන් චීනයෙන් යාත‍්‍රා ආනයනයට අවසර නිකුත් කරන අතර අමතර කොටස් ගෙන්වා ඉන්දියාවේ දී එකලස් කරන කම්හල් සදහා සහන ලබා දෙන යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ. ඉකුත් වසරේ අග නිෂ්පාදනය හා බද්ධ වූ සහනාධාර ක‍්‍රමයක් ඩ්‍රොන සදහා හදුන්වා දී ඇත. ඩ්‍රෝන යාත‍්‍රා බලපත‍්‍ර නිකුත් කරන ක‍්‍රමවේදය සරල කරන්නට නියම කිරීම තවත් උපායක් බව දැක්වේ. මිනිසුන් රහිත ටැක්සි වශයෙන් භාණ්ඩ හා ලියැකියැවිලි එහා මෙහා යැවීමේ දී උපයෝගීතාව මත අලූත් අවස්ථා යෝජනා කරන ඉන්දීය ආණ්ඩුව, එය ජනප‍්‍රිය කිරීමෙහි පියවරක් වශයෙන් ඉන්දීය රුපියල් කෝටි එකසිය විස්සක් - දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දහසයක, සහනාධාර ව්‍යාපෘතියක් ද ප‍්‍රකාශයට පත් කරයි.

ඉන්දියානු පරිපාලනය ශ‍්‍රී ලංකාව තරමට සමහරවිට එයටත් වඩා තද නීති ඇති රටකි. එහෙත් සමාජ ආකල්ප විවෘතය. ඉන්දීය වෙළද පොල වාර්තා දක්වන ආකාරයට ඩ්‍රෝන ව්‍යවසායයක් මෙහෙයුම පහසු නැත. රජයට අයත් ආයතන විසි තුනකින් පමණ අවසර ගැනීමට සිදුවේ. පොලිසිය හා ගුවන් හමුදාව ද එයට ඇතුලත්ය. එවැනි අවසර ගැනීමකින් ඉනික්බිතව පවා ගුවන් ගත කරනන්ට කලින් ද්වීතියික අවසර ලබා ගත යුතු අංශ ගණනාවකි. යානාව මෙහෙයවන ස්ථාන හා පුද්ගලයන්ගේ පුහුණුව එහි දී විශේෂයෙන් සලකා බලන බව අනාවරණය වන කරුණකි. එය අවසානයක් නැති අනුමැතිය ගැනීමේ ක‍්‍රමවේදයක් බව ක්ෂේත‍්‍රය ගැන උන්නදුවක් දක්වන පිරිස ඉන්දීය මාධ්‍ය වෙත කරුණු දක්වා තිබුණි. කෙසේ වෙතත් සමාජයක් වශයෙන් ඩ්‍රෝන යාත‍්‍රා ප‍්‍රවර්ධනය කරන අදහසට විරුද්ධත්වයක් නැත.

හදිසි අවස්ථාවක ඉතාම ඉක්මනින් අවශ්‍ය කරන කුඩා ඇසුරුම් නිවැරදිව ප‍්‍රවාහනය කරන්නට ඩ්‍රෝන ඉතාම බහුලව භාවිතයට ගැනේ. සෞඛ්‍ය අංශයට එය වැඩදායක වී ඇත. අප‍්‍රිකානු කලාපයේ සමහර රටවල රෝහල්වල ඖෂධ තොග රැස්කර තබාගැනීම වෙනුවට රෝගියෙකුට අවශ්‍ය වූ වහා ඒවා ඩ්‍රෝන මගින් ප‍්‍රවාහනය කරන්නට විශේෂිත සමාගම් අරඹා ඇත. එවැනි පියවරකින් නාස්තිය හා පිරිවැය කළමනාකරණය කළ හැකි බව ඔප්පු වී තිබේ. ගම්බද ප‍්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කර ඒවායේ ප‍්‍රවාහනය කාර්යක්ෂමතාව වැදගත් නමුත් ඒ අතරවාරයේ මහජනතාවට වේගවත්ව සේවා සපයන්නට ඩ්‍රෝන යාත‍්‍රා උපයෝගී කරගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දී ඇත. කෘෂි අංශය ද එහි ප‍්‍රයෝජන ගන්නා තැනකි. පොහොර හා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නට ඩ්‍රෝන උපයෝගී කරගැනේ. සිතියම් සකස් කරන්නට හෝ සැලසුම් හදන්නට විශාල පිරිසක් යොදවා මිනුම් කටයුතු කළ යුගය අවසන්ය. මෙහොතකින් ඉතාම නිවැරදිව මිනුම් ලබා ගැනීමට ඩ්‍රෝන කැමරාවකට හැකියාව ඇත.

අලූත් යුගය ගැන කල්තබා තීරණ ගැනීම රටට වැඩදායකය. නවතම අවස්ථා උපයෝගීකරගත යුතුය. පස්වන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය සමග ඇති කරන නවතම අවස්ථා විවෘත කරගත යුතුය. සැකයෙන් හා අවිශ්වාසයෙන් සලකා පැත්තකට කිරීමෙන් රටට සිදුවන හානිය දරුණු බව අමතක කළ යුතු නැති පැත්තකි.