» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/03/2023 - ඉරිදා ලංකාදීප
සුළු මුදලක් ඉතිරි කළොත් විශ‍්‍රාම වැටුපක් අතට ලැබෙන ක‍්‍රමයක්

අනාගතයේ සුවසේ ජීවත්වීම සියළුම දෙනාගේ අපේක්ෂාවකි. වයස්ගත වූ පසු, අනුන්ට අත නොපා තමන්ගේ ඉපැයීම් වලින්ම ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් බලාපොරොත්තු වෙති. සමාජයේ ඉහළ ස්ථරයේ කොටස්වලට වරප‍්‍රසාද ඇත. ධනවත් පිරිස ඔවුන්ගේ වත්කම්වලින් කොටසක් අනාගතය සදහා ඉතිරි කරගනිති. ඉතාම අඩු ආදායමක් උපයන ජන කොටස මුහුණ දෙන ඉරණම කුමක්ද? ඇතැම් රටවල ආණ්ඩු මහජන ආධාර යෝජනා ක‍්‍රම හදුන්වා තිබේ. ශ‍්‍රී ලංකාවේ ද වයස්ගත නැති බැරි ජනතාවට මාසිකව දීමනාවක් ලැබෙන ක‍්‍රමයක් ඇත. අය වැය මගින් වෙන්කරන මුදලින් මෙම මුදල් ගෙවන අතර විවිධ ක‍්‍රමවලින් අයකරන බදුවලින් කොටසක් මහජන සහනාධාර ගෙවීම සදහා වෙන්කරන බව සදහන් කළ යුතුය.

රජයේ අය වැය ලේඛනයෙන් මුදල් වෙන්කිරීම වෙනුවට වැඩිහිටි සුබසාධනය සදහා වෙනම අරමුදලක් ආරම්භ කිරීම අවධානයට ගත හැකි වෙනස් අංශයකි. අඩු ආදායමකක් ලබන පිරිස හදුනාගෙන, ඔවුන්ගේ ද දායකත්වය සහිත උපාය මාර්ගයක් ඉන්දියාව අනුගමනය කරයි. අතල් පැන්ෂන් යෝජනා ක‍්‍රමය වශයෙන් එය හැදින්වේ. 2015-16 අය වැය යෝජනාවක් අනුව ක‍්‍රියාවට නැගේ. වයස අවුරුදු දහ අටට වැඩි ස්ථිර ආදායමක් නැති ඕනෑම ඉන්දියානු පුරවැසියෙකුට තමන්ට ආසන්න බැංකුවකට ගොස් තමන්ටම විශ‍්‍රාම වැටුපක් ලැබෙන සැලැස්මට ඇතුළු විය හැකිය.

ඉන්දියානු රජය අඩු ආදායම්ලාභීන් සදහා පමණක් ක‍්‍රියාවට නංවන මෙම අතල් පැන්ෂන් ක‍්‍රමය යටතේ තල කිහිපයකට යටත්ව ආදායමක් උඵයාගත හැකි අතර සාමාජිකයා දායකවන මුදල අනුව අවසානයේ දී ලැබෙන විශ‍්‍රාම වැටුප තීරණය වේ. මාසයකට අවම වශයෙන් රුපියල් හතලිස් දෙකක් ගෙවිය යුතුය. ස්ථිර ආදායමක් නැති අයට අතට මුදල් ලැබෙන පරිදි, මාස හයකට හෝ අවුරුද්දක දායකත්වය එකවර ගෙවිය හැකි අතර වසර විස්සක කාලයක් අඛණ්ඩව ගෙවන්නට සිදුවේ. අතරමග දී ඉවත්විමේ අවස්ථාව ඇත. දායක මුදල් ලබාගෙන යෝජනා ක‍්‍රමයෙන් බැහැරවීම පුද්ගලයාගේ අයිතියකි. වසරකට ගෙවන මුදලට එකතුවන පරිදි තවත් සියයට පනහක් රජයෙන් ගෙවයි. වසර හතලිහ සම්පූර්ණ වූ පසු වසර විස්සක් එක දිගට මාසික විශ‍්‍රාම වැටුපක් ලැබේ. විශ‍්‍රාම වැටුප හිමි පුද්ගලයා ගේ හදිසි අභාවයකට පසු ඔහුගෙන් යැපුණ අයෙකුට නියමිත කාලය අවසන්වන තෙක් දීමනාව ඉල්ලා සිටිය හැකිය.

රස්සාවක් නැති, ස්ථිර ආදායමක් අහිමි පුරවැසියෙකුට අනාගතයේ දී අත්විදින්නට සිදුවන හිරිහැරවලින් ගැලවීමට මෙය කදිම ආයෝජනයකි. දැනට අනුමනය කරන පිලිවෙල අනුව ඉන්දීය රු.දහසක සිට පන්දහස දක්වා මාසික ආදායමක් ලබාගත හැකිවන පරිදි ආයෝජන සැලසුම් තිබේ.

අනුන්ට බරක් නොවී තමන්ගේ විශ‍්‍රාම ජීවිතය ගත කරන්නට සැලසුම් කරන සෑම ඉන්දියානුවෙකුම මෙම ක‍්‍රමයට දායක වෙමින් සිටී. ඉන්දියානුවන් ලක්ෂ තුන්සිය හැට දෙකක් පසුගිය වසර අවසන් වන විට මෙම වැඩපිලිවෙලට ඇතුලත් වී සිටි බව එරට වාර්තා දක්වයි. ඉන්දියාව ජාතික විශ‍්‍රාම අරමුදලක් පවත්වාගෙන යන අතර මෙම අඩු ආදායම් විශ‍්‍රාම වැටුප එයට අතුලත් නොවන පිරිස සදහා වෙන්කර තිබීම මෙහි දී විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි. රාජ්‍ය සේවයේ, දෙපාර්තමේන්තු හා ප‍්‍රාන්ත ආණ්ඩුවල සේවය කරන මිලියන 15.7 ක පිරිසකට ජාතික විශ‍්‍රාම වැටුප ක‍්‍රියාත්මක අතර එහි කාන්තා නියෝජනය සියයට 42 ඉක්මවයි.

දුප්පත් ජනතාව සදහා ඇති කරන ලද මෙම යෝජනා ක‍්‍රමය විවේචනය කරන පිරිස මතුකරන කරුණක් ද මෙහි දී සැලකිල්ලට ගත යුතුය. අවුරුදු විස්සක් සාමාජිකත්ව ඉතිරි කිරීමකට පසු ලැබෙන මුදල අනාගතයේ දී වටිනාකමක් නැති බව ඔවුහු කියති. දැනට බලපවත්වන උද්ධමනය අනුව ගණන් බැලීමේ දී පවා ආර්ථික වාසියක් නැති බව දක්වති. එහෙත් දුප්පත් ජනතාවගේ අදහස වෙනස් එකක් වී තිබේ. නැති බැරි කාලයේ දී අතට ලැබෙන දීමනාව ඉතාම ප‍්‍රයෝජනවත් වන අතර දුඛිත ජීවිතයක් ගත කිරීමට වඩා සැනසිලිදායක බව පෙන්වා දෙති.

ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන ඉන්දියාවේ වයස් අනුපාත අනුව තරුණ ප‍්‍රතිශතය ඉහලම මට්ටමක පවතී. සාමාන්‍යයෙන් බිලියනයක පිරිසක් අවුරුදු තිස්පහට අඩු වයස් කාණ්ඩයට අයත්ය. වසර 2070 දක්වා ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා තරුණ ජවයක් සහිත තත්ත්වයක පසුවන බවට පුරෝකථනය වී ඇති ඉන්දියාව එසේ තිබිය දී පවා වයස්ගත ජන කොටස සතුටින් තැබිය හැකි ක‍්‍රම ගැන සොයා බලන බව පෙනේ.

ශී‍්‍ර ලංකාවේ ජනගහන වාර්තා පිරික්සනවිට මෙවැනි වාසිසහගත තත්තවයක් නැත. ජනගහන කාණ්ඩ අනුව ශ‍්‍රම බලකාය අඩුවනු ඇති බව පර්යේෂණ වාර්තා දක්වයි. දරුවන් හා වැඩිහිටියන් රැක බලාගන්නට තරුණ පිරිසට සිදුවනු ඇත. දැනට වැඩකරන ප‍්‍රමාණය ඉක්මවා මහන්සි වී ආදායමක් උපයා ගැනීමට ඉදිරි කාලයේ දී තරුණ පිරිසට සිදුවේ. එම ආදායමෙන් වැඩි කොටසක් තමන්ගේ දරුවන් හා වැඩිහිටියන් සදහා වියදම් කරන්නට සිදුවන බවට අනතුරු අගවා තිබේ. දැනටත් ආදායමක් රහිත දුප්පත් වැඩිහිටියන් සදහා ආධාර කරන ක‍්‍රමය අසංවිධිතය. බදු ආදායමෙන් කොටසක් වැඩිහිටි දීමනා වෙනුවෙන් වැය කෙරේ. වයස්ගත ජනගහනය වැඩිවන පසුබිම තුළ වසරක් පාසා අය වැය යෝජනාවල දී වැඩිහිටි දීමනා වශයෙන් වෙන්කරන්නට සිදුවන මුදල ඉහළ යනු ඇත. එය සමාජයට බරකි. ආර්ථිකය අවදානමකට යොමු කරන හේතුවකි. සමාජ විද්‍යාඥයන්, ආර්ථික පර්යේෂකයන් එකතු වී අනාගතයේ එළැඹෙන අවදානම ගැන කල්තබා තීරණ ගැනීම සුදුසුය.

වැඩිහිටි ජනතාවට ගෙවන දීමනා පමණක් නොව රජයේ විශ‍්‍රාම වැටුප පවා අලූතින් සලකා බලන්නට සිදුවේ. රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් සදහා ජාතික ආදායෙමන් සියයට අසූවක් පමණ වැය කරන්නට සිදුවී ඇත. ජාතික ආදායමෙන් ඉතිරිවන සියයට විස්ස ණය ගෙවීම, රාජ්‍ය ආයතන නඩත්තුව, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහන ඇතුළු සේවා සදහා ප‍්‍රමාණවත් නැත. ඉන්දියාව හා ලෝකයේ අනෙක් රටවල් හා සමානව විශ‍්‍රාම වැටුප් අරමුදල් වෙනම නිර්මාණය කළ යුතු අතර ඒවා ශක්තිමත් ආයෝජන ක‍්‍රම සහිතව පවත්වාගැනීමෙන් හොද ප‍්‍රතිලාභ අත්පත් කරදෙනු ඇත.

පැරණි යල්පැන ගිය ආකෘති තවදුරටත් ගැලපෙන්නේ නැත. ලෝකයේ සිදුවන වෙනස්කම්වලින් අත්දැකීම් ලබාගත යුතුව තිබේ. තරුණ ප‍්‍රජාවගේ සිතු ම්පැතුම් හදුනාගත යුතු අතර ඔවුන්ට වැඩිහිටියන්ගේ බර දරන්නට ඉඩ නොතැබීම අපගේ වගකීමකි. ශ‍්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික සම්බන්ධතා අනුව දෙමාපියන් හා දරුවන් ආරක්ෂා කරන වගකීම මැනැවින් උසුලයි. අනාගතයේ දී මෙම සාධක සීමාවන අවදානමක් ඇත. රට තුළ සිදුවන පරිවර්තනයෙන් බැහැර විය නොහැකි අතර එයට මුහුණදීම සදහා අලූත් අදහස් ක‍්‍රියාවට නැංවීම අවශ්‍යය.