» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/02/2023 - ඉරිදා ලංකාදීප
අව්වට වැස්සට හුරු මිනිසුන්වෙත ඉදිරිපෙල වෙන්කළ ජනරජ දිනය

ඉන්දීය ජනරජ දිනය ජනවාරි විසි හය වැනි දිනයට යෙදී තිබුණි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ ආචාර පෙළපාලිය සමග එකතු වූ අතර නවදිල්ලියේ ප‍්‍රවේශ සංකේතය වන කර්තව්‍යපාත් හි දී අභිමානවත් අන්දමට සංවිධානය විය. ජනරජ දිනයේ විශේෂිතම අමුත්තන්ගේ පීඨිකාව සාමාන්‍ය ජනතාවට වෙන් කිරීම කැපී පෙණනි. මෑතක දී සිදුකරන ලද එහි සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වූ සාමාන්‍ය ජනතාවට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ නගරයේ පදික වෙළදුන්ට වෙන් කර තිබුණි. විශේෂ උත්සව අවස්ථාවල ඉහළම පැලැන්තියේ පිරිස් අසුන්ගන්නා නමුත් සුවිශේෂි තැනක සිට ජනරජ දිනයේ අසිරිය විදින්නට ලැබීම සහභාගී වූ පිරිසගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමකි. මෙවර ජනරජ දිනයේ තේමාව වශයෙන් සාමාන්‍ය ජනතාව සමග ජනරජ සංවත්සරය සැමැරීම වශයෙන් නම් කර තිබුණි.

ජනරජ දිනය පවත්වන ප‍්‍රදේශය විශේෂ ව්‍යාපෘතියකින් සංවර්ධනය කෙරිණ. එය ආරම්භ කළේ 2021 වසරේ දී ය. මෑතක් දක්වා රාජ්පත් යනුවෙන් නම් කර තිබුණ එහි ප‍්‍රවේශ මාර්ගය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී කර්තව්‍යපාත් යනුවෙන් නම්කෙරිණ. යටත් විජිතයක්ව පැවැති කාලයේ ඉන්දියාවේ පරිපාලන ප‍්‍රදේශය නවදිල්ලිය වූ අතර එහි නිර්මාණය එකල අවශ්‍යතාව පරිදි සැලසුම්කර තිබුණි. ආණ්ඩු කිහිපයක් නොයෙක් වෙනස්කම් කරන ලද නමුත් මූලික රාමුවෙන් බැහැර වූයේ නැත.

නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා රටට අනන්‍ය ආකෘතියකට අනුව නගරයේ සැලැස්ම පමණක් නොව ඉන්දියාවේ භාවිතාව ද වෙනස් කරමින් සිටී. කර්තව්‍යපාත් ඉදිකරන අතර එහි නගර සැලැස්ම ඉන්දියානු ස්වදේශිකත්වයට ගැලපෙන පරිදි ප‍්‍රතිනිර්මාණය කෙරේ. මෙම කාර්යයහි නිරතවූ සාමාන්‍ය පිරිස දහස් ගණනකි. ඔවුහු සිය කටයුතු කළේ පහසුවෙන් නොවේ. නවදිල්ලියේ කාලගුණය වසරේ මුල් භාගයේ අධික ශීතල වන අතර මැද භාගය ඉතා උණුසුම්ය. අධික රශ්මියෙන් පීඩා විදින කාලයේ නගරයේ තැන් තැන්වල ජලය හා රසවත් බීම වර්ග සහිත දන්සැල් සංවිධානය කෙරේ. දුප්පත් මිනිසුන් පිපාසිතව රෝගීවීම වලක්වන අරමුණ ඇතිව නගරවල ව්‍යාපාරිකයෝ එය සංවිධානය කරති. මෙවැනි දුෂ්කරතා විදිමින් දූවිලි හා කැළි කසල මැද ගැවසෙමින් නගරයක සිරිය නැවත ගොඩනැගීමට දායක වූ ශ‍්‍රම බලකාය පසෙකට කළ නොහැක. ඔවුන් ඈතින් තබා ප‍්‍රභූ වාහන පිරිවරාගෙන පැමිණෙන අමුත්තන්ගේ රාජකීයත්වය අගමැතිවරයාගේ කැමැත්තට හේතු වූයේ නැත.

මෙම සිද්ධිය සාමාන්‍යයෙන් දැකගත නොහැකි දුලබ සිදුවීමකි. කාර්යය අවසන් කළ පසු වැඩකරන ජනතාවට වැටුප් ගෙවන අතර ඉනික්බිතව අමතක කෙරේ. දහඩිය හෙලන ලද ජනතාවට රජ මැදුරේ දොරගුළු හැරෙන්නේ නැත. මෝදි මහතා වෙනස් නායකයෙකි. ඉන්දීය අගමැතිවරයා උත්තර ප‍්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයක් නවීකරණයකර විවෘත කරන අවස්ථාවට සහභාගී වූ අතර එහි දී සේවය කළ පිරිස් කැදවා ඔවුන්ගේ අතට මල් පෙති පිරිනමා අගය කළේය. පසුගිය වසරේ ජනරජ දිනයට අමුත්තන්ගේ ගැලරියට වීදිය හා වැසිකිලි පිරිසිදු කරන පිරිස කැදවීය. එලවලූ හා පලතුරු වෙළෙන්දන් ද ඒ අතර සිටියහ. කර්තව්‍ය පාත් ආශ‍්‍රිතව අලූතින් පාර්ලිමේන්තු මන්දිරයක් ඉිදිවන අතර අගමැතිවරයා පසුගිය වසරේ මැද එහි ගොස් ඉදිකිරීම් කම්කරුවන් සමග කාලය ගත කර ඔවුන් රට වෙනුවෙන් කැපවීම අගය කරන බව ප‍්‍රකාශ කරන ලද බව ද මතක් කළ යුතුය. 2019 වසරේ කුම්බමේලා උත්සවයකට සහභාගී වූ අගමැති මෝදි මහතා සනීපාරක්ෂක සේවාවල නිරත පිරිස් කැදවා ඔවුන්ගේ දෙපා ජලයෙන් දෝවනය කර ඇගයීමට ලක් කළේය.

කර්තව්‍යපාත් ප‍්‍රදේශය අලූතින් නිර්මාණය වී තිබේ. ජනාධිපති හා අගමැති කාර්යාල, පාර්ලිමේන්තු සංකීර්ණය සහ රජයේ කාර්යාල සෑහෙන ප‍්‍රමාණයක් එහි ඇත. මෙම ජනාධිපති මන්දිරය වන ‘‘රාශ්ඨපති භවන්’’ සිට ‘‘ඉන්දියන් ගේට්’’ එනම් යුද ස්මාරකය දක්වා කිලෝ මීටර් තුනක දුරක් මෙම සංවර්ධන ව්‍යාපෘතියට අයත්ය. ඉන්දියන් ගේට් යුද ස්මාරකය ද මෙහි දී ඉවත් කෙරිණ. එහි නිදහස් සටනේ වීරයෙකු වූ සුභාෂ් චන්ද්‍රබෝෂ් ගේ ප‍්‍රතිමාවක් එහි තැන්පත් කර ඇත. ඉන්දියාවේ බලය හා නවෝදය විද්‍යමාන කරන අලූත් කොරිඩෝවක් පමණක් නොව ජනතාව දිනා ගන්නා හෘදයාංගම ප‍්‍රයත්නයක් වශයෙන් ද මෙම සැලසුම් ක‍්‍රියාවට නගන බව පෙනේ.

ඉන්දීය අගමැතිවරයා ගේ හැසිරීම ආදර්ශයට ගත යුතුය. දේශපාලනයේ නිරත සෑම පුද්ගලයෙකුටම අලූතින් සිතන්නට සිදුවී ඇති වකවානුවකි. පැරණි කාලයේ රදල දේශපාලනය අදට ගැලපෙන්නේ නැත. ජනතාව හා මහජන වරමින් බලයට පත්වන නායකයන් අතර පරතරයක් තබාගැනීම ප‍්‍රශ්නයකි. ඡුන්දය ඉල්ලන කාලයේ දී ජනතාව වෙත යන අපේක්ෂකයෝ බලය ලබාගත් පසු ප‍්‍රභූ තත්ත්වයට පත්වෙති. ශ‍්‍රී ලංකාවේ ජනතාව නිර්ප‍්‍රභූ දේශපාලනයක් සදහා බලකරමින් සිටී. සිස්ටම් චේන්ජ් කරන ලෙස කෑ ගසන ලද, රට වෙනස් කිරීමේ අරමුණ ඇතිව අරගලයක නිරත වූ පිරිස ගේ මතය අමතක කළ යුතු නැත. රට ගොඩනැගෙන්නේ සාමාන්‍ය ජනතාවගේ වැර වෑයමෙන් වන අතර රජයේ සැලසුම්, ප‍්‍රතිපත්ති ජනතා අභිලාශ සාක්ශාත් කරන තැනට කැදවීම වගකිව යුතු අංශවල අරමුණ විය යුතුව තිබේ.