» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/12/2022 - ඉරිදා ලංකාදීප
මිහිතලයේ වැඩිම ජනගහන වාර්තාව අසල්වැසියා දිනාගනී

තවත් නොබෝ දිනකින් ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට බවට පත්වනු ඇත. එක්සත් ජාතීන් ගේ සංවිධානය ලෝකයේ ජනගහන ප‍්‍රවණතා සම්බන්ධ අධ්‍යයන වාර්තාව පසුගිය දා නිකුත් කළ අතර ඔවුන්ගේ ගණන් ගැනීම අනුව 2023 වන විට ඉන්දීයාව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වේ. දශක ගණනක් චීනය මෙම වාර්තාවට අයිතිවාසිකම් දක්වන ලද අතර 2019 අවුරුද්දේ දී චීනයේ ජනගහනය බිලියන 1.44 ක්ව තිබිණ. එම වසරේ ඉන්දීය ජනගහනය බිලියන 1.39 ක් ලෙස සදහන් විය. 2023 අවුරුද්දේ දී මෙම ජන සංඛ්‍යාව තවත් වර්ධනය වනු ඇති බවත් වසර 2050 ඉක්මවන කාලය තෙක් නැවත එම වාර්තාව දිනා ගැනීමට චීනය අසමත් වන බවත් ජනගහන වාර්තා සංඛ්‍යා ලේඛන හෙළි කරයි.

2019-2050 කාලය තුළ චීනයේ ජනගහනය සම්බන්ධ අපේක්ෂා මිලියන 31.4 කින් නොඑසේනම් සියයට 2.2 කින් අඩු වෙතැයි සැලකේ. අසූ ගණන් වල දී, එවකට සිටි අධික ජනගහනය සලකා පවුලකට එක දරුවෙකු පමණක් සීමා කරන නීති පනවා තිබුණි. එය කොපමණ තද තීරණයක් වී ද යත් දෙවැනි දරු උපතක දී එම දරුවා අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි සමාජ ආරක්ෂක ක‍්‍රමවලින් ආවරණයක් ලැබුණේ නැත. 1980 දී හදුන්වා දුන් එම ප‍්‍රතිපත්තිය 2016 වසරේ දී අවසන් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනය තීරණය කළේය. පනවා තිබුණ වාරණය හේතුවෙන් ජනගහනය මිලියන හාරසියයකින් පමණ පාලනයක් වූ බව සැලකේ. මෙම පාලනය ඉවත් කිරීමෙන් නතර නොවූ චීනය පසුගිය 2021 වසරේ දී තවත් පියවරක් ඉදිරියට තබමින් පවුලකට තුන්වැනි දරුවාට ද අවසරය නිකුත් කළේය. මෙම ප‍්‍රස්ථාවට හේතුව චීනයේ ආර්ථික දියුණුව සදහා අවශ්‍ය කරන ශ‍්‍රම බලකාය නිසි පරිදි පවත්වා ගැනීමටය.

ඉකුත් නොවැම්බර් 15 වැනි දා ලෝක ජනගහනය බිලියන අටක මටට්මට පැමිණි අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආහාර, ජලය, බලශක්තිය ඇතුළු අංශ ගණනාවක් කෙරෙහි අලූත් ආකාරයකින් අවධානය යොමු කරන්නට බලකරන බව සදහන් කිරීම අවශ්‍යය. ඉන්දියානු ජනගහනය වැඩිවීම සමග ආසියාවේ ප‍්‍රතිශතය සමස්ථ ලෝක ජනගහනයෙන් සියයට හැට එකක දක්වා ඉහළ නැග තිබේ. ඉන්දියාව මෙම මං සලකුණ ඔවුන්ගේ භාරධුර වගකීමක් සේ සලකා ක‍්‍රියාකරන බව පෙනේ. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශවල පහසුකම් දියුණු කරන්නට සැලසුම් කරන අතර හොද වෘත්තීය පුහුණුවක් හා නිෂ්පාදන කාර්ය භාරයක් සහිත ජනගහනය රටට අවස්ථාවක් බව එරට ජනගහන විශේෂඥයෝ ප‍්‍රකාශ කරති. දක්ෂතා සහිත මානව සම්පත අලූත් දේ බිහිකරන අතර එය දැවැන්ත ආර්ථිකයක් සදහා අවස්ථාවක් බව දක්වයි. ඉන්දියානු ජනගහන වාර්තා පරීක්ෂා කරනවිට අවධානයට ගත හැකි ප‍්‍රධාන කරුණක් තිබේ. තරුණ ජන කොටස සැලකිය යුතු ප‍්‍රමාණයකි. සෑම රටක්ම ජනගහනය වයස්ගතවීම ප‍්‍රශ්නය කෙරෙහි අවධානයෙන් සිටින අතර එකී අංශයෙන් සලකා බලන විට වැඩිම ජනගහනයක් සහිත ඉන්දියාව අවස්ථා සහිත තරුණ රටකි.

ඉන්දියාවේ ජනගහන වර්ධනය සමග ඛනිජ තෙල්, විදුලිය ඇතුළු අංශවල විශාල අවස්ථා ඇතිවේ. ලෝකයේ වෙනත් කලාපවල සිටින රටවල් ඉන්දියාවට සමීපවීමට උත්සාහ කරති. යුරෝපා රටවල්, සවුදි අරාබිය ඉන්දියාවේ ආයෝජනය අරඹා ඇත. ශ‍්‍රී ලංකාව ඉන්දු ලංකා ආයෝජන මගින් විදුලිය, ඛනිජ තෙල් වැනි අංශවලින් රටට ලබාගත හැකි අවස්ථා ගැන අධ්‍යයනය කළ යුතුය. ඉන්දියාවේ විදුලිය අවශ්‍යතාව 2030 වන විට සියයට තිහකින් වැඩිවේ. මෙම සැපයුම සදහා අවශ්‍ය කටයුතු කරන්නට ඉන්දියාවට පමණක් අවකාශයක් නැත. වෙනත් රටවලින් විදුලිය ලබාගැනීමට ඉන්දියාව සැලසුම් කරයි. ශ‍්‍රී ලංකාවට හොද අවස්ථාවකි. මන්නාරම හා පුනරින් අවට සුළං හා සුර්ය තාප බලාගාර ඉදිකළ හැක. ගොඩබිම හා නොගැඹුරු මුහුදේ ස්ථාපිත කරන සුළං බලාගාරවලින් මෙගාවොට් 30,000ක් පමණ විදුලිය නිපදවිය හැකි බව දැක්වේ. ඛනිජ තෙල් සම්බන්ධයෙන් ද මෙම අවකාශය තිබේ. ඛනිජ තෙල් වැඩිම ප‍්‍රමාණයක් භාවිතා කරන රටවල් අතර තුන්වැනි ස්ථානය ඉන්දියාව බව ද දැක්වේ. වසර 2030 වනවිට දැනට භාවිතා කරන තෙල් ප‍්‍රමාණය තවත් සියයට පනහකින් වැඩිවන අතර පිරිපහදු අවශ්‍යතාව සියයට තිහකින් වැඩිවන බව ගණන් බලා තිබේ. ඉන්දියාවේ ජනගහනය සමග ඉහළ යන ඛනිජ තෙල් හා විදුලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ඇති අවස්ථා සලකා බැලිය යුතුය. අතිරේක විදුලිය ජනනය කරන පරිදි ආයෝජනය කළහොත් ඉන්දියාවට විකිණිය හැක. ඛනිජ තෙල් පිරිපහදුවක් සදහා අයෝජනය කර එයින් පිරිසිදු කරන ඉන්ධන ඉන්දියාවට අලෙවි කළ හැක.

මෑත කාලයේ සිදුවූ සිද්ධි පදනම් කරගෙන ශ‍්‍රී ලංකාව මැදි ආදායම් මටට්මක සිට පහල මැදි ආදායම් තලයට පත්ව ඇත. ආර්ථික අතින් දුර්වල තැනකය. ජනගහන වාර්තා අනුව ශ‍්‍රම බලකාය සීමා සහිතය. ජනගහනය වයස්ගතය. වැඩකළ හැකි තරුණ ශ‍්‍රමය සීමා සහිත වී තිබේ. ශ‍්‍රී ලංකාව තරුණ ශ‍්‍රමය වැඩි ප‍්‍රතිශතයක පැවැති වකවානුවක් තිබුණි. අවාසනාවකට මෙන්” එම කාලයේ දී තරුණන් මුහුණ දුන්නේ ත‍්‍රස්තවාදී ගැටුම්වලටය. තරුණයෝ අතරින් කොටසක් ත‍්‍රස්තවාදී කටයුතුවලට නැඹුරු වූ අතර එයට එරෙහිව නැගී සිටි තවත් තරුණ කොටසක් ත‍්‍රස්තවාදය පරාජය කරන ආරක්ෂක අංශවලට එකතු වූහ. නිෂ්පාදන හා සේවා අංශයෙහි නිරතවන අවස්ථාවක් තරුණන්ට ලැබුණේ නම් ශ‍්‍රී ලංකාව ආර්ථික හා සමාජ අතින් ඉහළම තැනකට පත්වනු ඇත.

ජනගහනයේ වර්ධනය සමග රටට අවශ්‍ය කෙරෙන ආහාර නිෂ්පාදනයට නැඹුරුවීමට ඉන්දියාව යුහුසුළුවෙයි. අලූතින් කෘෂිකාර්මික කටයුතු සදහා මෙහෙයැවේ. ආහාර සංස්කෘතිය අනුව ඉන්දියානු ජනතාව රළු ආහාරවලට හුරුය. 2023 ධාන්‍ය වසර ලෙස නම්කර ඇත. ආහාර පමණක් නොවේ, අධ්‍යාපන, නිවාස, සෞඛ්‍ය, ප‍්‍රවාහන යනා දී වශයෙන් විශාල පරාසයක මෙහෙයැවෙන්නට ඉන්දියාවට සිදුවනු ඇත. මෙහි දී ශ‍්‍රී ලංකාවට අත්පත්කරගත හැකි අවස්ථා තිබේ. රටට අවශ්‍ය නිෂ්පාදනය වැඩි කරන අතර කර්මාන්ත හා සේවා අංශවලින් ඉන්දියානු ජනගහනයට සැපයුම් අවකාශය ලබාගත හැකිය. මෙම අංශ කෙරෙහි අධ්‍යයනයක් කර නිසි සූදානමකට පැමිණීම ශ‍්‍රී ලංකාවට ඇති අභියෝගයකි.