» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/09/2022 - ඉරිදා ලංකාදීප
රසායනික භාවිතයක් නැති නිහඩව කෙරෙන ගොවිතැන

ඉන්දියාවේ උතුරු ප‍්‍රදේශයේ සිකිම් ප‍්‍රාන්තය පිහිටා ඇත. භූතානය, ටිබෙට් හා නේපාලයට මායිම් වී පිහිටි සිකිම් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන, යහපත් පරිසර පද්ධතියක් ඇති ප‍්‍රදේශයකි. එහි එක කොටසක් හිමාලයට ද මායිම් වී තිබේ. රසායනික ද්‍රව්‍ය භාවිතයක් නැති පිරිසිදු ආහාර නිෂ්පාදනයක් සහිත ලෝකයේ පළමු ප‍්‍රාන්තය වශයෙන් ඉතිහාසයට එකතු වී තිබේ. අපරාධ නැති හොදම ආණ්ඩුකරණයක් සහිත ප‍්‍රදේශයක් වශයෙන් ද අර්ථ දක්වයි.

1960 ගණන්වල ඉන්දියාවේ හරිත විප්ලවයක් ක‍්‍රියාත්මක වූ අතර විශාල ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවීම එහි එකම අරමුණ වී තිබුණි. එතෙක් සාමාන්‍ය සම්ප‍්‍රදායික ගොවිතැන් කරමින් සිටි ගොවියන්ට, වැඩි අස්වැන්නක් සදහා පොහොර සහ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නට පොළඹවන ලදී. නවීන යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතාවට ද නැඹුරු කරවිය. ආපසු හැරී බලන ඉන්දීය පරිසරවේදීහු වැඩි අස්වැන්න දෙන, ඉක්මන් නිපදවන ක‍්‍රමය එරට පස, ජලය සහ පරිසර පද්ධතිය අසාමාන්‍ය විකෘතියකට ලක්කර ඇති බවට චෝදනා කරයි. එවැනි වාද විවාද මැද සිකිම් ප‍්‍රාන්තය නිහඩවම ඉලක්කයක් සහිත ගමනක් පැමිණ තිබේ.

2016 ජනවාරි මාසයේ දී සිකිම් ප‍්‍රාන්තයේ පාලකයෝ තීරණයක් ගත් අතර කෘෂිකාර්මික කටයුතු සදහා ප‍්‍රාන්තයට කිසිම රසායනික ද්‍රව්‍යයක් ගෙන්වීම හෝ භාවිතා කිරීම තහනම් කළේය. එහි ගොවියෝ පස සරු සාර කරන කාබනික ක‍්‍රම අනුගමනය කරයි. කොම්පෝස්ට් නිපදවා ගනී. සත්ව හා ශාඛ කොටස් පසට එකතු කරන අතර පාංශූ ජීවින් වර්ධනය කරගෙන ස්වභාවික ගොවිතැනට සුදුසු පරිදි භූමිය පරිවර්තනය කරගෙන ඇත. සමහර තැනෙක ගොවියෝ හරිතාගාර ඉදිකරගෙන ඇති අතර ඒවා තුළ කුඩා මෙවලම් භාවිතා කර වගා කටයුතු කෙරේ. මුල් කාලයේ දී අස්වනු හානි, බහුලව වාර්තා වී ඇත. ගොවියන්ගේ අතට ලැබෙන ආදායම අඩු වී තිබේ. එහි දී සිකිම් ප‍්‍රාන්තයේ පාලකයෝ ගොවිතැනට සහනාධාර ක‍්‍රම හදුන්වා දී ඇත. සිකිම් ප‍්‍රාන්තයේ වටිනාකම ලොව පුරා ප‍්‍රචාරය වන අතරවාරයේ ලෝකයේ නොයෙක් රටවලින් ස්වභාවික ගොවිතැන සහ එහි පිසෙන ආහාර රස බලන්නට සංචාරකයෝ පැමිණෙති. එය වෙනම ආදායම් මාර්ගයක් බවට පත් ව ඇත. හිමාලයෙන් එන පිරිසිදු උල්පත් ජලය, වායු දූෂණයක් නැති හුස්ම සහ රසායනික මුසු නොවූ ආහාර අලූත් සංස්කෘතියකට දොරටු විවෘත කර තිබේ. එහි වැසියන්ගේ සරල, තෘප්තිමත් ජීවන රටාව අපරාධ අඩු කර ඇති අතර ලෝකයේ සාමකාමී නගරවලින් ඉහළම තැන පවතින බවට ශ්‍රේණිගත කර ඇත.

රසායනික භාවිතාකර වැඩි අස්වැන්නක් ලබන ගොවිතැන් කටයුතුවලට හුරු වී සිටි සිකිම් හි ගොවියන්ගේ ආකල්ප වෙනස් කරන ක‍්‍රමය පහසු වූයේ නැත. පළමු පියවර වශයෙන් පොහොර හා රසායනික ද්‍රව්‍ය වලට ලබා දී තිබුණ සහන 2010 වසරේ සිට ක‍්‍රමයෙන් අඩු කළ අතර 2014 වසරේ සිට වස විස සහිත රසායනික හා පොහොර අලෙවිය හා මිල දි ගැනීම තහනම් කරන නීති පැනැවීය. එයින් වසර දෙකකට පසු කාබනික ප‍්‍රාන්තයක් බවට ප‍්‍රකාශයට පත් කළ බව වාර්තාවල දැක්වේ. කෙසේ වෙතත් රසායනික භාවිතය අත්හරින ලද වහාම බෝග වගාවෙන් එන අස්වැන්න තුනෙන් එකක් අඩු වී තිබේ. පලිබෝධකයන්ගෙන් වගාව ආරක්ෂා කරගන්නට සෑහෙන පරිශ‍්‍රමයක් දරන්නට සිදුවී ඇත. එකල ගොවීහු මෙම අසාර්ථක උත්සාහය නිරර්ථක බවට චෝදනා කරමින් සිටියහ. දැන් එය සාමාන්‍යකරණය වී තිබේ. ගොවි ජනතාව ලැබෙන අස්වැන්න හා ආදායම ගැන තෘප්තිමත්ය.

ඉන්දීය කෘෂි වාර්තා දක්වන පරිදි 2020 මාර්තු අවසන් වන විට රට තුළ හෙක්ටයාර් මිලියන 2.78 ක කාබනික වගාව කෙරේ. ප‍්‍රාන්ත දොලහක කාබනික වගාව සහතික කරන රජයේ ආයතන ස්ථාපිත කර ඇත. එහි ලියා පදිංචි වූ ගොවියන්ට නියමිත ප‍්‍රමිති අනුව කාබනික ගොවිතැන සදහා අවසර නිකුත් කර තිබේ. මධ්‍ය, රාජස්ථාන් සහ මහාරාශ්ඨ ප‍්‍රාන්ත සමස්ථ කාබනික ගොවිතැන් කටයුතුවලින් සියයට පනහක ප‍්‍රතිශතයක් ආවරණය කරන බව දැක්වේ. රජය පමණක් නොව දහස් ගණන් රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලික අංශයේ ව්‍යාපාර කාබනික කෘෂි කටයුතු සදහා පෙනී සිටියි. අවශ්‍ය තාක්ෂණය, මග පෙන්වීම සිදුකරයි. ගොම, ගව මුත‍්‍ර යනාදිය මිශ‍්‍ර කර පොහොරක් තනා ගන්නා ගොවීහු එයින් උසස් ප‍්‍රතිඵළ ලගා කරගෙන ඇත. පරිසර හිතකාමී බැක්ටීරියා නිපදවන ආයතන ගණනාවකි. ඔවුහු දියරයක් වශයෙන් නිපදවා ගන්නා සාන්ද්‍රණය ජලය හා මිශ‍්‍ර කර වගාවට යොදවයි.

ශ‍්‍රී ලංකාවේ ගොවි සංවිධාන හා පරිසරයට හිතැති ගොවිතැන ගැන කැපවීමෙන් ක‍්‍රියාකරන ක‍්‍රියාකාරීන් සෑහෙන පිරිසක් මෙවැනි සමාන ක‍්‍රම ක‍්‍රියාවට නගමින් සිටී. විවිධ පලාත්වල ස්වභාවික ගොවිතැන කෙරේ. ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව වැනි රටවල අත්දැකීම් උකහා ගෙන ඇති අතර ලංකාවට අනන්‍ය පැරණි ගොවිතැන් ක‍්‍රමවේද නැවත මතු කරගැනෙන පර්යේෂණ ද සිදුවෙයි. හිතකර බැක්ටීරියා නිපදවීම, ගැඩවිල්ලන් යනාදී හිතකර ජීවීන් බෝ කිරීම, ගවයන් ඇතුළු සත්ව පාලනය සමග කරන සමාන්තර ගොවිතැන සහ මී මැසි පාලනය මගින් පරාගනය කර අස්වැන්න වැඩි කරගැනීමට අවස්ථා සම්පාදනය වැනි ක‍්‍රම භාවිතා කරති.

රසායනික පොහොර අවශ්‍ය, මහා පරිමානයෙන් කරගෙන යන්නට අවශ්‍ය නිෂ්පාදනයට එයට ඉඩ දෙන අතර ස්වභාවික පරිසර පද්ධති තුළ රසායනික රහිතව කරන ගොවිතැනට වෙනම අවකාශ සැලසීම සුදුසුය. පැවැත්ම බලහත්කාරී කිරීම අනුචිතය. එක ක‍්‍රමයකට හෝ වඩා සහන ලබා දී කෘෂිකර්මයෙහි විකෘතියක් ඇති කිරීම බලවත් හානියක් බව සදහන් කළ යුතුව තිබේ. ලංකාවේ ගොවිතැන් ක‍්‍රම ගැන ඉතිහාසයක් තිබේ. වගා ක‍්‍රම සමග බැදුණු පරිසර හිතැති කෘෂිකර්මයක් රටට තිබුණි. ඒවායේ අභාවයට තුඩුදුන් කරුණු ගැන ආපසු හැරී බැලීම වෙනුවට ඉදිරියේ දී ගත හැකි යුක්ති සහගත පියවර ගැන විද්වතුන් ගේ අවධානය යොමු විය යුතුය.

ඉන්දියාවේත් ශ‍්‍රි ලංකාවේත් ගොවිතැන සහ කෘෂිකර්මික කටයුතු පරිසරය හා බැදුණ පිලිවෙලකට තිබුණි. ගවයා සම්පතක් සේ සැලකීය. ගොවිතැන පහසු කරන අතර පොහොර ලබාදෙන සම්පතක් සේ සැලකිණ. අදටත් ගවයා ඉන්දියාවේ ඉහළම සැලකිල්ලට ලක්වන සත්වයෙකි. කිරි නිෂ්පාදනය සදහා ගවයන් ඇති කරන ප‍්‍රාන්තවල කෘෂි බෝග සදහා රසායනික පොහොර භාවිතය අඩු බව ඉන්දීය වාර්තා පෙන්වන කරුණකි.

ඉන්දියාව 2005 වසරේ සිට රසායනික භාවිතයෙකින් තොර ගොවිතැන ජාතික ප‍්‍රතිපත්තියක් සේ හසුරුවයි. කෘෂිකර්මය දියුණු කරන තීරණ ගන්නා අතර ස්වභාවිකව කරන වගාවට ද ආධාර සපයයි. විශාල සංවිධාන ප‍්‍රමාණයක් වී, අර්තාපල්, බඉ ඉරිගු, එලවලූ හා පලතුරු රසායනික භාවිතා නොකරන වගාකිරීමේ කටයුතු දිරිගන්වමින් සිටී. ඔවුන් ආශ‍්‍රිතව ලක්ෂ ගණනක් ගොවියෝ සංවිධාන ගතව ඇති බව සදහන් කළ හැක. කාබනික හා අකාබනික කෘෂි කර්මයෙහි සමතුලිතතාවය වැදගත්ය. එක අන්තයක් කරා වැඩි අවධානයක් දැක්වීම වෙනුවට කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති සහ නියාමනය සකස්කර සියළුම දෙනාට අවස්ථා සම්පාදනය ආහාර නිෂ්පාදනය නැංවීමට ගත හැකි පියවරකි. රසායනික පොහොර භාවිතා නොකර නිපදවන ආහාරවලට විශේෂිත ඉල්ලූමක් ඇත. නිවැරදි ක‍්‍රම හා ප‍්‍රතිපත්ති අනුගමනය කළහොත් ශ‍්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මයට ද එයින් අවකාශයක් ඇතිවේ.