» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/07/2021 - ඉරිදා ලංකාදීප
අසූ වසරකට පසු නැවතත් එදා සිටි තැනටම පැමිණ ඇත

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබදතාවල එක්තරා කඩඉමක් ලබන වසරේ දී එළැඹෙයි. දීර්ඝ ඉතිහාසය තුළ රටවල් දෙක අතර ඉතා වැදගත් සමාජ, සංස්කෘතික සිද්ධි ගණනාවකි. විජය කුමාරයා ගේ පැමිණිම, බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම, මිහිදු රහතන් වහන්සේ ගේ වැඩමවීම හා බුදු දහම වැළද ගැනීම යනාදිය ඉතා වැදගත් අවස්ථා අතර තිබේ. දෙවන ලෝක යුද කාලයේ දී ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක මැතිතුමන් මෙරට විහේෂ නියෝජිතයෙකු ලෙද ඉන්දියාවට පිටත්කර තිබේ. දෙරට අලූත් පරිච්ජේදයක වැදගත් සංධිස්ථානයකි. එකල පැවැති යුද තත්ත්වය හෙයින් රට තුළ සහල් හිගයක් තිබුණි. ලංකාව සිය නියෝජිතයා මගින් යවන පණිවුඩය අනුව සහල් අවශ්‍යතාව ඉදිරිපත් කර තිබේ. එයට සාර්ථක ප‍්‍රතිචාර ලැබී ඇත. වසර අසූවකට පසු රටට නැවතත් සහල් ආනයනය කරන්නට සිදුවී තිබේ. පසුගියදා කැබිනට් මණ්ඩලය පසුගිය දා පකිස්තානයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ගෙන්වීමට අවසර දී ඇත. දෙවැනි ලෝක යුද්ධය කාලයේ පකිස්තානය, බංගලාදේශය වශයෙන් වෙන්ව තිබුණේ නැත. ඉන්දියාවට අයත් සම්පූර්ණ කලාපයකි. පකිස්තානය ඉන්දියාවෙන් වෙන්ව වෙනම රටක් නමුත් ශ‍්‍රී ලංකාව සහල් ආනයනයට ගෙන ඇති තීරණය වෙනස් එකක් සේ සැලකීමට හැකියාවක් නැත.

එකල විශේෂ නියෝජිතයෙකු ලෙස නව දිල්ලියට ගිය ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක මහතා ඉන්දීය බලධාරීහු සමග සාකච්ඡා කර තිබේ. පැවැති දරුණු ආහාර හිගයට පිලියම් වශයෙන් සහල් මිල දී ගැනීමට ක‍්‍රියාකර ඇත. වසර අසූවකට පසු සහල් සදහා පිටරටට කරුණු දක්වන්නට නැවතත් සිදුවී තිබීම අවාධානයට ගත යුතු කරුණකි. ආහාර අවශතා සදහා කෘෂිකර්මය නගාසිටුවීමට ගත යුතු පියවර නැවත වතාවක් මුල සිට අරඹන්නට සිදුවී තිබේ.

දෙවන ලෝක යුද්ධය පවතින කාලයේ සෑහෙන රටවල් සෑහෙන ප‍්‍රමාණයක් යුද වියදම්වලින් හෙම්බත්වී සිටි බව මතක් කළ යුතුය. ලංකාව ද බලවත් දුෂ්කරතා අත්විදින ලද රටකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් පැවැති බව වාර්තා දක්වයි. විනිමය හිගය ද ආනයන සදහා බලපා තිබේ. රබර් වලට ඉහළ මිලක් ලැබුණි. විදේශ විනිමය ලැබුණ එක ප‍්‍රධාන අංශයකි. නමුත් පසු කාලීනව රබර් අපනයන ආදායම අඩු වී ඇත. ගොවිතැන් කටයුතු අඩාල වී සහල් හිගයක් පැන නැගී තිබේ. කුරුල්ලන්ට දෙන බජිරි වැනි ධාන්‍ය පවා අනුභව කරන්නට දුප්පත් ජනතාවට සිදුවූ බව පැරණි වාර්තා දක්වයි. ලංකාවට සහල් ගෙන්වා ගැනීමට නොයෙක් ක‍්‍රම අනුගමනය කරන ලද නමුත් සාර්ථක වී නැත. සෑම රටකටම දුෂ්කරතා තිබුණි. ජයතිලක මහතා විශේෂ නියෝජිතයෙකු සේ ඉන්දියාවට යවන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉන්දීයාවේ පවා ආහාර හිගයක් තිබී ඇත. ලංකාවට සහල් නිකුත් කිරීමට මදුරාසියේ දී සහාය ලැබී ඇති නමුත් කල්කටාවේ දී නොයෙක් විරුද්ධතා පැන නැගී තිබේ. පුවත් පත් සහ වෙළද සංගම් දැඩි විරුද්ධත්වයක් පළ කරන ළද බව ජයතිලක මහතා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට වාර්තා කර ඇත. එය එකල දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණි. මෙම විරෝධය පිටුපස කොන්ත‍්‍රාත් සමාගම් අතර තරගයක් ද බලපා ඇති බව පුවත් පත් වාර්තා තවදුරටත් සදහන් කර තිබුණි. ඉන්දීය වෙළද අමාත්‍යවරයා සමග ජයතිලක මහතා දිල්ලියේ දී කරන ලද සාකච්ඡා සාර්ථක වී ඇත. සහල් මෙටි‍්‍රක් ටොන් විසි දහස බැගින් ලබාගැනීම සමත්ව තිබේ. අවශ්‍ය විධි විධාන සාකච්ඡා කිරීම සදහා එම සාකච්ඡා වලට පසු මෙරට ද්‍රව්‍ය මිල දී ගැනීමේ කොමසාරිස් හා උප කොමසාරිස්වරු ඉන්දියාවට පිටත්ව ගිය බව ද පැරණි පුවත් පත් වාර්තා හෙළිකරයි. නිලධාරීහු දුම්රියෙන් මදුරාසිය බලාගිය බව ද පසුව බොම්බායට යනු ඇති බව ද තව දුරටත් අනාවරණය කර තිබුණි. ලංකාවේ ඇති වූ ආහාර හිගය, අනුගමනය කළ ක‍්‍රියාමාර්ග සහ මෙම ගමන් වල දී දෙරට අතර දුම්රියෙන් සිදුවූ ගමන් බිමන් ද ගවේශනය කළ යුතු වැදගත් කරුණු අතර තිබේ.

රටට අවශ්‍ය ආහාර ඉල්ලා ඉන්දියාව බලා විශේෂ නියෝජිතයෙකු පිටත්ව ගියේ අධිරාජ්‍යවාදී කාලයකය. වී වගාව කෙරෙහි අධිරාජ්‍යවාදීහු එතරම් තැකීමක් නොකළහ. අද වන විට ගොවිතැනට හා කෘෂි අංශයට විශාල අනුබලයක් තිබේ. දිරිගැන්වීම් බහුලය. නිදහස ලැබීමෙන් පසු කාලය තුළ කෘෂි අංශයෙහි නවෝදයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබේ. ගල්ඔය සහ මින්නේරිය වැනි සංවර්ධන ව්‍යාපාරවලින් ඇරඹුන ගමන් මග මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය ඔස්සේ ඉහළටම ඔසවා ඇත. ලොකු කුඩා ජලාශ වලට ජලය සපයා වගා කටයුතු දිරි ගන්වා තිබේ. කෘෂි ව්‍යාප්ති සේවා, වී මිල දී ගැනීමේ ක‍්‍රම, සහතික මිල, පොහොර සහනාධාර යනාදී වශයෙන් විවිධ වැඩපිලිවෙල ප‍්‍රමාණයකි. එහෙත් අද වන විට රටට අවශ්‍ය සහල් නිපදවා ගත නොහැකි වී ඇත. සහල් මිල ගණන් ඉතාම ඉහළ බව වෙළද පොල වාර්තා දක්වයි. තව දුරටත් මිල ඉහළයෑම වලක්වා ජනතාවට සහනයක් වශයෙන් සහල් යම් ප‍්‍රමාණයක් ආනයනය කරන්නට සිදුවී තිබේ. මෙම ස්වභාවය සෑහීමකට පත්විය හැකි එකක් නොවේ. දශක අටකට කලින් අරඹණ ලද තැනටම රට නැවත පත්ව තිබීම බරපතල අවධානයට යොමු විය යුතු කරුණකි.

රටට අවශ්‍ය ආහාර නිපදවන වැඩ පිලිවෙල වෙනුවෙන් සියළු ආණ්ඩු වෙහෙස වී තිබේ. ලංකා මන්ත‍්‍රණ සභාවේ පළමු කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඞී. එස්. සේනානායක මහතා මින්නේරියවැව පරාක‍්‍රම සමුද්‍රය ප‍්‍රතිසංස්කරණය කරන ලද අතර පදවිය, පොලොන්නරුව සහ හිගුරක්ගොඩ ගොවි ජනපද පිහිටවූහ. ගොවියෝ මුණ ගැසී කතා කර රට නගා සිටුවීම සදහා ගොවිතැන් කිරීමේ වැදගත් බව පෙන්වා දුන්හ. අගමැති ධුරයට පත් එතුමෝ රජරට ගොවියන් අමතා කරන ලද කතාවක දී රජරට නව ගොවිජන පද පිහිටුවීම, නිදහස හා සමානව රටට සිදුවූ වැදගත් කටයුත්තක් බව ප‍්‍රකාශ කර ඇත. තවදුරටත් අනුන්ගෙන් යැපෙන රටක් නොව ජනතාවගේ ශ‍්‍රමයෙන් වැව් තනා ගොවිතැන් කර ආහාර නිපදවන සුඛිත මුදිත දේශයක් කරන බව අගමැති සේනානායක මහතා එදා ප‍්‍රකාශ කර ඇති දර්ශනයේ එක කොටසකි.

අද පවතින ආර්ථික තත්ත්වය යහපත් නැත. එක පැත්තකින් රටට බලවත් සෞඛ්‍ය අර්බුදයක් තිබේ. අනෙක් පැත්තෙන් ආර්ථික පීඩනයක් එල්ලවෙමින් පවතින වකවානුවකි. සංවිධිත ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතුව තිබේ. සමාජය බලගැන්විය යුතුව ඇත. සහන අවශ්‍ය නැතැයි තීරණය කළ හැකි එකම අංශයක් හෝ නැත. ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය නගාසිටුවීම ගැන සිතන්නට සිදුවී තිබේ. ක්ෂුද්‍ර ආර්ථික කළමණාකරණය, විදේශ වෙළදාම, ආයෝජනය, තාක්ෂණික අංශ, ශ‍්‍රම බලකාය, මුල්‍ය හා ප‍්‍රතිපත්ති යන අංශවල සම්පූර්ණ සමාලෝචනයක් කළ යුතුව තිබේ. රටට බලපවත්වා ඇති විදේශ විනිමය හිගය ඉන්ධන ඇතුළු ආනයනික අංශ කෙරෙහි තිරණාත්මකය බලපා ඇත. ආනයන සීමා කරන අතර, රසායනික පොහොර සහ කෘෂි රසායන නතර කිරීම වැනි තීරණ දක්වා බලපෑමක් වී තිබේ.

දශක අටකට පසු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි පවතින ව්‍යුහය කෙබදුද? අපනයන සීමා වී ඇත. 2000 වසරේ දී, දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 39.2 ප‍්‍රතිශතයකින් කළ අපනයන 2019 දී සියයට 23.12 දක්වා අඩු වී තිබේ. වියට්නාමයේ එම කාලසීමාව තුළ අපනයන ඉපැයීම්, එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 51.92 ක සිට සියයට 106.80 දක්වා නැග ඇත. බංගලාදේශය, ඉන්දුනීසියාව හෝ මැලේසියාව තුළ අපනයන වර්ධනයක් වාර්තා වී තිබේ. ජාතික ආදායමෙන් පමණක් පවතින හැකියාව අපට නැත. පසුගිය වසරේ ජාතික ආදායමෙන් සියයට අසූ පහක් රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් වියදම් කර ඇත. ණය පොලී ආපසු ගෙවීමට වැය කරන ලද ප‍්‍රමාණය පමණක් රජයේ ආදායමෙන් සියයට හැත්තෑ එකක් වෙන් කරන්නට එම වසරේ දී සිදුවී තිබේ. වැටුප් ගෙවීම සහ ණය පොලී ගෙවීමට හෝ ප‍්‍රමාණවත් නැති ජාතික ආදායමක් සහිත රටකි.

අප සියළු දෙනාටම අලූතින් සිතන්නට සිදුවී තිබේ. අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති වල වරදක් ඇත. දශක අටකට පසු පවා නැවතත් ආරම්භ කරන ලද තැනට හැරී තිබීම ගැටළුවකි. නැවත වතාවක් අසල්වැසි රටවලට විශේෂ නියෝජිතයන් යැවීම විසදුම නොවේ. ව්‍යුහය වටහා ගෙන අලූත් නිර්මාණශීලී වැඩපිලිවෙලක් ඇරඹිය යුතුය. තරුණ ශ‍්‍රමය උපයෝගී කරගත යුතු අතර කෘෂිකර්මය තාක්ෂණයෙන් බලගැන්වී තිබේ. කුඹුරට බැස කරන ගොවිතැන වෙනුවට වැඩිදියුණු වී ඇති අංශ රටට හදුන්වා දිය යුතු අතර රාමුව වෙනස් නොකළහොත් තවත් වටයකින් ආහාර සදහා වෙනත් රටක ආධාර ඉල්ලා සිටින්නට සිදුවනු නිසැකය.