» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/04/2021 - ඉරිදා ලංකාදීප
තමිල්නාඩුව හැර ඉන්දියාවේ තවත් ප‍්‍රාන්ත සමග සබදතා

තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහ මැතිවරණයට තව දින දෙකකි. අප‍්‍රියෙල් හය වැනිදා ඡන්දය ප‍්‍රකාශ කරන දිනයයි. ගණන් කිරීම මැයි 2 දින සිදු කෙරෙන අතර මැයි 24 වැනිදා වන විට සියළු කටයුතු අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය වසර පනහ තුළ තමිල්නාඩුවේ දේශපාලනය ප‍්‍රධාන පක්ෂ දෙකකට සීමා වී තිබුණි. එකක් ද්‍රවිඩ මුනේත‍්‍ර කලහම් පක්ෂයයි. අනෙක ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුනේත‍්‍ර කලහම් පක්ෂය බව දැක්වෙයි. ජාතික දේශපාලනයට සෘජු සම්බන්ධයක් නැති මෙම පක්ෂ දෙක තමිල්නාඩුව තුළ බලය හුවමාරු කරගනිමින් සිටී. දැනට ඉන්දීය මහ ආණ්ඩුවට අයත් භාරතීය ජනතා පක්ෂයට තමිල්නාඩුවේ වැඩි බලයක් නැත. ඉන්දීය බී.ජේ.පී. එනම් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව බලය තහවුරු කරගන්නේ සන්ධාන ගතවීමෙන්ය. ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුනේත‍්‍ර කලහම් පක්ෂය සහ බී. ජේ. පී. ය අතර එකගතාවයක් තිබේ. පසුගිය දා භාරතීය ජනතා පක්ෂය සිය මැතිවරණ ප‍්‍රකාශණය නිකුත් කළේය. එයට අනුව තමිල්නාඩු ආර්ථික වාසිය සදහා සෑහෙන ආයෝජනයකට සූදානම් බව පෙනේ.

ප‍්‍රධාන කරුණු ගණනාවකින් සමන්විත මැතිවරණ ප‍්‍රකාශනය බී.ජේ.පී ය නිකුත් කරන විට ප‍්‍රතිවාදීහු දැවැන්ත අනෙක් මතයක් සමාජ ගත කරමින් සිටියහ. තමිල්නාඩුවේ නම දක්ෂීණ ප‍්‍රාන්තය වශයෙන් වෙනස් කරන බවට වූ කට කතාවකි. එය සත්‍යයක් නොවන බව පෙන්වන්නට ඉන්දීය මහ ආණ්ඩුවට සිදුවී ඇත. ආණ්ඩුවේ සහන මල්ල තුළ වර්තමානයෙහි මහත් ආන්දෝලනයකට ලක්ව ඇති කෘෂි අංශය සදහන්ය. කෘෂි කටයුතු වෙනුවෙන් විශේෂ අය වැයක් ඉදිරිපත් කරන්නට සූදානම්ය. කොවිඞ් වසංගත තත්තවය ඉදිරියේ ආර්ථිකය අඩාල වී ඇති නමුත් රක්ෂා ලක්ෂ පනහක පොරොන්දුවක් ජනතාව හමුවේ තබා ඇත. පාසලේ 8 සහ 9 වසරවල ඉගෙන ගන්නා දරුවන්ට නොමිලේ ටැබ් සපයන අතර සෑම ධීවරයෙකුටම වසරකට රු. හය දහසක සහනාධාරයක් ද ගෙවන බව දක්වයි. තමිල්නාඩු මැතිවරණය පොරොන්දු මල්ලකි. දෙපැත්තම යහමින් මුදල් විසි කරන බව ඉතිහාසයේ සිට සනාථ වී ඇති කරුණකි.

තමිල්නාඩුවේ ජනී ජනයා සිය ප‍්‍රාදේශීය දේශපාලන පක්ෂ දෙක හැර අනෙක් පරාසයක් ගැන අවධානය යොමු නොකරන පරිදි ශ‍්‍රී ලාංකිකයන්ට ද දැවැන්ත ඉන්දියාවේ අනෙක් පැත්තක් කෙරෙහි වැඩි අවධානයක් නැත. ඉන්දියාව ප‍්‍රාන්ත 28 කින් සමන්විතය. රාජස්ථාන් විශාලම ප‍්‍රාන්තයයි. එහි විශාලත්වය ඉන්දියාවෙන් 10.4 ක කොටසකි. මධ්‍ය ප‍්‍රදේශ්, මහාරාශ්ඨ, උත්තර ප‍්‍රදේශ්, ජම්මු කාශ්මීර්, ගුජරාට්, කර්නාටක ආදි වශයෙන් එන ලැයිස්තුවේ භූමියේ විශාලත්වය අතින් දහවැනි තැන තමිල්නාඩුවට හිමි වී තිබේ. ඉන්දියාවේ ජනගහනය බිලියන 1.36 කි. එක්සත් ජාතීන්ගේ ගණන් බැලීම අනුව වසර හත අටක් යන විට ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වනු ඇත.

ශ‍්‍රී ලංකාව තමිල්නාඩුව දෙස බලන්නේ ආර්ථික බලවත්කම, ජනගහනය හෝ භූමියේ විශාලත්වය අනුව නොවේ. එකම කාරණය ප‍්‍රතිවාදී ආකල්පයයි. තමිල්නාඩුවේ ජීවත්වන දෙමළ ජනතාව කතා කරන්නේ ශ‍්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව වෙනුවෙන්ය. තමිල්නාඩු දේශපාලනඥයෝ ශ‍්‍රී ලංකාවේ පසුබිම සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන තිබේ. මෙරට ජීවත්වන දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව අගවන දේශපාලනඥයන්ගේ ප‍්‍රකාශ බලවත් සේ විශ්වාස කරන තමිල්නාඩු ඡන්ද දායකයෝ සිය ඡුන්දය පාවිච්චි කරති. මෙම පසුබිම විශාල මිත්‍යාවක් වී තිබේ. ඡන්දය ආසන්නයට එන විට තමිල්නාඩුව හා ලංකාවේ දෙමළ ජනතාව කළඹවන දේශපාලනඥයෝ තමන්ගේ වාසිය හදා ගන්නා අතර මෙම ජාතිවාදී දේශපාලනයට මෙරට පැවැත්ම ද ගොදුරු වී තිබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

ශ‍්‍රී ලංකාවේ සමහර දෙමළ ජන කොටස් පවා විසදුම අපේක්ෂා කරන්නේ තමිල්නාඩු දේශපාලනඥයන් ගෙනි. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබදතා හා සම්බන්ධ එක්තරා කතාවක් තිබේ. එයට අනුව දිල්ලිය හා කොළඹ අතරට පණිවුඩය එන්නේ යාපනය හරහාය. තමිල්නාඩුව හා යාපනය අතර සම්බන්ධතා එපමණ පුලූල්ය. සංකීරණය. දෙමළ භාෂාව අනුව රට තුළ වෙනස් පැති නිර්මාණය වී තිබේ. ජාත්‍යන්තර සබදතා වලට කලින් දෙමල ජාතිකයන් ගේ හදවත් දිනා ගැනීමට උත්සාහ කළ යුතුය. මෙරට නායකයන්ට එම අවබෝධය තිබේද? රට තුළ ජීවත්වන සියළුම පුරවැසියන්ට එක හා සමානව ආමන්ත‍්‍රණය කරන්නට අවශ්‍යය. එවැනි පියවර සම්බන්ධ දුබලතා තිබේ. මෙරට ජන නායකයන්ට වඩා පිටස්තර නායකයන්ට ඇති ලැදියාව එහි ප‍්‍රතිඵලයකි. දේශපාලනය පමණක් නොවේ. උතුරු නැගෙනහිර ජීවත්වන දෙමල ජනතාව ගේ මාධ්‍ය භාවිතාව පිටස්තර එකකි. ලංකාවේ තොරතුරු අහන්නේ ඉන්දියාවෙන් විසුරුවාහරින මාධ්‍ය වලින්ය. බලන චිත‍්‍රපටිය අනුව වීරයෝ හැදෙති. නායකත්වය ගන්නේ ලංකාවේ ආභාෂයෙන් නොවේ. දෙමළ ලාංකිකයන්ගේ සංවේදී ප‍්‍රශ්න වලට උත්තර නොලැබන විට එම පිරිස් තව තවත් තමිල්නාඩු දේශපාලනයට සමීපවීම වලක්වනු නොහැකිය. එය ශ‍්‍රී ලංකාව මනාව තේරුම් ගත යුතු පරාසයකි.

තමිල්නාඩුවේ මුළු ජනගහනය මිලියන 74.5 කි. ලංකාව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මෙම ජනගහනයෙන් සියයට අසූවකට පමණ තමන්ගේම නිවහනක් තිබේ. මෑත කාලය තුළ විශාල දියුණුවක් ලබා ඇත. ඉන්දියානු ආර්ථිකයට දෙන ජවය සියයට 8.4 ක් බව දැක්වෙයි. ඉන්දියාව 2020-21 මුල්‍ය වසරේ සියයට 7.7 ක රින අගයක්ගන්නා පසුබිමක තමිල්නාඩුව සියයට 2.2 ක වර්ධනයකි. කොවිඞ් තර්ජනය මැද පවා හිස ඔසවා තිබේ. එයට හේතුව කර්මාන්ත සහ තාක්ෂණ අංශයේ ආයෝජන වලින් ලැබෙන පිටිවහල බව දැක්වෙයි. තමිල්නාඩුවේ කර්මාන්ත අපනයනය ආදායම ඇමරිකානු ඩොලර් බිලියන තිහ ඉක්මවා ඇති අතර තොරතුරු තාක්ෂණ සේවා අංශයේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 19.9 කි. මෙම වර්ධනයෙන් ශ‍්‍රී ලංකාවට අවස්ථා ලබාගැනීමට නුපුලූවන්කමක් නැත. ආර්ථික සම්බන්ධතා දියුණු කළහොත් විශාල වාසිදායක අවස්ථා නිර්මාණය කරගත හැකිය. ඉන්දියානු මහ ආණ්ඩුව සමග ශී‍්‍ර ලංකාව සබදතා තර කරගන්නා අතරවාරයේ මෙරට පලාත් මට්ටමින් හෝ තමිල්නාඩුව කෙරෙහි නැඹුරුවෙන්නට උත්සාහයක නැත. විරෝධය වෙනුවට අවස්ථා සම්පාදනය කර ගැනීම වැඩදායකය.

ඉන්දියාවේ අනෙක් ප‍්‍රාන්ත ගැන ද කළ යුතු සදහනක් තිබේ. ඉන්දියාවේ විවිධ ප‍්‍රාන්ත වලට ශ‍්‍රී ලංකාවේ ජනතාව තුළ බැදීමක් තිබේ. එයට හේතුව බුද්ධ ධර්මයයි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ස්ථාන ලාංකිකයන්ට වැදගත්ය. නමුත් මෙම අවශේෂ ප‍්‍රාන්ත සමග පවතින දැනහැදුනුම්කම් දුරස්ථය. ඉන්දියාවේ හින්දු ජනතාව රාමායනය අදහන පිරිසකි. තමිල්නාඩුවට එපිටින් විශාල ජනගහනයක් රාම කුමාරයා හා සීතා දේවිය ගේ වෘතාත්තය ඔස්සේ ශ‍්‍රී ලංකාව ගැන අවබෝධයක් තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අයෝධ්‍යාවේ රාම් මන්දිර් නමැති විශේෂ හින්දු දේවස්ථානයක් ඉදිකිරීම අරඹා තිබේ. ලෝකයේ නන්දෙසින් රාමායනයට සම්බන්ධ තැන් වලින් ස්මාරක එකතු කරමින් සිටී. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර හින්දු ජනතාව පදනම් කරගෙන සංචාරක කටයුතු අලූත් මුහුණුවරකින් අරඹන්නට මෙතැනින් මුලාරම්භයකට යා හැකිය. හොද සැලැස්මක් හා නිවැරදි දර්ශනයක් අවශ්‍යය. අසල්වැසි ඉන්දියාවේ බලය හා ශක්තිය අමතක කරන ලංකාව එරට දෙස බලන්නේ තමිල්නාඩු ආක‍්‍රමණයක විලාසයෙන්ය. එයින් එපිට විශාල අවස්ථා ඇත. උපායශීලීව තීරණ ගැනීමෙන් ආර්ථික හා සමාජ අවකාශයක් විවර කරගැනීමට හැකියාවක් තිබේ.