» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/07/2022 - ඉරිදා ලංකාදීප
ආරක්ෂක අංශයට තරුණන් බදවා ගැනීමට අග්නිපත් විශේෂ ව්‍යාපෘතියක්

ආරක්ෂක අංශවලට තරුණන් බදවා ගන්නා ක‍්‍රමවේදයට අලූත් ව්‍යාපෘතියක් හදුන්වා දීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර ඇත. තාවකාලික පදනමකින් කෙරෙන පත් කිරීම වසර හතරක කාලයක් සදහා වලංගු වන වයස අවුරුදු දහ හතහමාරේ සිට විසි එක දක්වා කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම විවෘත බව ඉකුත් සතියේ ඉන්දීය ආණ්ඩුව නිවේදනය කළේය. ආරක්ෂක අංශවලට තරුණ ජවය අවශ්‍ය වී ඇති අතර තරුණන්ට රට ගැන කැක්කුමක් ඇති කරන සහ සියළුම ඉන්දියානුවන් එක සමාන බව අසධාරණය කරන්නට දරන ප‍්‍රයත්නයක් සේ හදුන්වා දී ඇත.

වසර හතරක සේවා කාලයේ දී නිශ්චිත දීමනාවක් නියම කර ඇත. ආරම්භයේ දී ඉන්දීය රුපියල් තිස් දහසක් හිමිවන අතර හතරවැනි වසර වන විට එය හතලිස් දහස දක්වා නැංවේ. අග්නිපත් ව්‍යාපෘතියට බදවා ගන්නා තරුණන් අග්නිවීවර් වශයෙන් සේවා ස්ථානයක තබන අතර දීමනාවෙන් සියයට තිහක මුදලක් විශේෂ අරමුලකට බැර කෙරේ. වසර හතර අවසන් වන විට අග්නි නිධි වශයෙන් ස්ථාපිත කරන සේවා භාරයෙන් ඔහුට හෝ ඇයට ලැබෙන පාරිතෝෂික දීමනාව රුපියල් ලක්ෂ එකොලහ ඉක්මවන අතර එය බදු වලින් නිදහස්ය. සියයට විසි පහක පිරිසක් යුද, ගුවන් හා නාවික ඇතුළු සියළු සේනාංකවලට බදවා ගන්නා අතර අනෙක් පිරිසට විසිර යා හැකිය. සේවයට බදවා ගන්නා පිරිස අවුරුදු 15 ක ස්ථිර සේවයට ඇතුලත් වේ.

මෙම පුහුණුව අවසානයේ දී ලබනන දැනුම හා අත්දැකීම් අනුව ඉන්දීය රජයේ සහ පුද්ගලික අංශයේ වෘත්තීය අවස්ථා ලබාගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. ඉන්දීය රුපියල් මිලියනයකට අධික මුදලක් අතට එන බැවින් එය ආයෝජනය කර අනාගතය ගොඩනගා ගැනීමට ද අවස්ථාවක් තිබේ. අග්නිපත් ව්‍යාපෘතිය වශයෙන් තරුණ ජවය ආරක්ෂක අංශයට එකතුකරගන්නා මෙම සැලැස්ම ලෝකයේ සමහර රටවල පවතින අනිවාර්ය යුද සේවයට සමානකමක් ඇත. 1970 ගණන්වල ආරම්භ කරන ලද අනිවාර්ය හමුදා සේවය දැනට රටවල් තිහකට වැඩි ප‍්‍රමාණයක විවිධ ස්වරූපයෙන් ක‍්‍රියාත්මකය. සිංගප්පූරුව, නෝර්වේ, ඊශ‍්‍රායලය, උතුරු කොරියාව සහ බ‍්‍රසීලය ඇතුළු රටවල තරුණ පිරිස් ගිවිසගත් කාලයක් අනිවාර්යයෙන් හමුදා සේවයට එකතු විය යුතුය. තරුණන් අනිවාර්ය ජාතික සේවයට ඇතුලත් කරගත යුතු බව ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට 2003 දී පමණ යෝජනා කළ අතර පසුව පාස්කු ඉරිදා ප‍්‍රහාරය අත්දැකීම් කරගෙන ජාතික සේවයක් වශයෙන් තරුණන්ට අනිවාර්යයෙන් රට වෙනුවෙන් කැපවීම සදහා පුහුණුවක්, විනයක් ඇති කළ යුතු බව පෙන්වා දී තිබේ. විශාල ආයෝජනයක් කළ යුතු වැඩසටහනක් වන නමුත් එය තරුණ පිරිස බලගන්වන ජාතිකාභිමානය ඇති කරන විශේෂ පියවරක් බව සදහන් කළ යුතුය. ඉන්දියානු විශේෂඥයන් දක්වන පරිදි වසර හතරක් පාසා තරුණ බලකායක් බදවා ගැනීමෙන් පසු එරට ආරක්ෂක අංශ නිතිපතා තරුණ ජවයෙන් ශක්තිමත් වනු ඇත.

අග්නිපත් ව්‍යාපෘතිය සමග ඉන්දියන් ආරක්ෂක හමුදාව තවත් පුලෝකයේ බලවත්ම තැනකට පත්වනු ඇතැයි ඉන්දියානුවෝ විශ්වාස කරති. දැනට ලක්ෂ දහ හතරකට වැඩි භට පිරිසක් යුද හමුදාවේ පමණක් සිටිති. සෑම වසරකම හැටදහසක් පමණ විශ‍්‍රාම යන අතර ඉන්දියාව පුරා පිහිටි බදවා ගැනීමේ ස්ථාන එකසිය විස්සක් වසර පුරා අලූත් භට පිරිස් සේවයට එක් කරගනිමින් සිටී. අග්නිපත් ව්‍යාපෘතිය එයට අමතරව යෝජනා කරන වැඩ පිලිවෙලකි. රට ජාතිය ගැන කැක්කුමක් ඇති නිර්භීත තරුණ පිරිසක් සූදානම් කරන මෙම යෝජනාව වෘත්තීය භාවය දියුණු කරන ක‍්‍රමයක් බවට ද හදුන්වා දී ඇත. කෙසේ වෙතත් ඉන්දීය ආරක්ෂක වියදම ගැන ද මෙම යෝජනාව අතරතුර විවාදයට පැමිණ තිබේ. ආරක්ෂක වියදම් වලින් හතරෙන් එකක් පමණ විශ‍්‍රාම වැටුප් හා දීමනා සදහා බව දැක්වේ. අග්නිපත් ව්‍යාපෘතිය යටතේ බදවා ගැනීමේ දී ඉන්දීය රුපියල් හතලිස් දහසක දීමනාවක් ඇතුලත් අතර ස්ථිර විශ‍්‍රාම වැටුපකට හෝ පාරිතෝෂිකයකට හිමිකම් නැති එකකි. ඇතැම් විචාරකයන්ට අනුව අග්නිපත් ව්‍යාපෘතිය තරුණ ශ‍්‍රමය අඩු මිලට ජාතික ආරක්ෂාව සදහා ප‍්‍රයෝජනයට ගැනීමකි. පුහුණුව, විනය, එයින් ඇති කරන ආත්ම ශක්තිය වැනි ගුණාංග කෙරෙහි දැඩි මතධාරීන්ගේ අවධානයක් නැත.

ඉන්දීය රජය අග්නිපත් ව්‍යාපෘතිය ඉතාම ඉහළින් ඔසවා තබන අතර රට පුරා එයට විරුද්ධ ජනමතයක් ද ඇවිලෙමින් තිබේ. ඉන්දියාවේ ප‍්‍රාන්ත අතරින් හරි අඩක පමණ අග්නිපත් ප‍්‍රතික්ෂේප කරන විරෝධතා පැවැතිණ. විරෝධතාකරුවන්ට අනුව මෙය ඉන්දීය පාලකයන් අනුගමනය කරන නිශ්ප‍්‍රයෝජන ව්‍යාපෘතියකි. වෙනස් මතධාරී තරුණ පිරිස් සමාජය අවුලව සිද්ධි නිර්මාණය කළේය. මාර්ග හරස්කර ජන ජීවිතය කළඹන ලද පිරිස් පොදු දේපොල වලට බරපතල අලාභානි කළහ. බස් රථ හා දුම්රිය මැදිරි ගිනි තබන ලද අවස්ථා ගණනක් බිහාර ඇතුළු ප‍්‍රාන්තවලින් වාර්තා විය. අග්නිපත් විරෝධතාකරුවන්ගේ බලපෑම් දුම්රිය 340 කට බලපාන ලද අතර ගමන් 234 ක් අවලංගු කරන්නට සිදුවූ බව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කළේය. විනාශකාරී සිද්ධයක දී පොලීසියේ වෙඩිතැබීමකින් තෙලංගානා ප‍්‍රාන්තයේ වැසියෙකු මිය ගිය අතර එයින් අනතුරුව ප‍්‍රකාශයක් කළ ඉන්දීය බලධාරීහු විරෝධතා නතර කර ජාතික සම්පත් ආරක්ෂා කරන සේ ප‍්‍රසිද්ධියේ ආයාචනා කළහ. තරුණ ශ‍්‍රමය බලයෙන් ලබාගන්නා අතර ආරක්ෂ අංශවලට හිමි වරප‍්‍රසාද අග්නිපත් ව්‍යාපෘතියෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම අසාධාරණ බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති. රැකියා විරහිත තරැණන්ට ආණ්ඩුව අවස්ථා සැපැයිය යුතු අතර අඩු තක්සේරුවකට බදවා ගැනීම අනුචිත බව ඔවුහු අවධාරණය කරති. ආරක්ෂක අංශවල ඇතැම් පිරිස් ද තාවකාලික පදනමකින් බදවා ගැනීම ගැන නොසතුට පළ කර ඇති අතර එය වෘත්තීය ගරුත්වය අඩු කරන යෝජනාවක් බව දක්වා ඇත. සමාජ විචාරකයන්ට අනුව ආයුධ පුහුණුව සහිත තරුණන් වසර හතරකට පසු සිවිල් සමාජයේ ගැවසීම විවිධ අපරාධ හා දුෂ්චරිත ඉහළ යන්නට හේතුවකි.

ශ‍්‍රී ලංකාවේ තරුණන් ගැන රටට කළ හැකි යමක් ඇත. මහ බැංකු වාර්තා අනුව රට තුළ ධාවනය කරන ත‍්‍රිවිලර් ලක්ෂ දොලහක් තිබේ. අඩුම තරමින් තරුණන් මිලියනයක් ඉතාම අඩු ආදායමක් සහිතව දෛනිකව වෘත්තීය කරගෙන යන පිරිසකි. ජව සම්පන්න, රටට වැඩක් කළ හැකි උත්පාදනයක නිරත විය හැකි පිරිස මහ පාරට වැටී තිබේ. ඉන්දියන් රජය අග්නිපත් ක‍්‍රමය අවසානයේ දී වසර හතරකට පසු ඉන්දීය රුපියල් මිලියන 1.1 ක් අතට දෙන වැඩ සටහනක් සකස් කර ඇත. ශ‍්‍රී ලංකාවේ මුදලින් ලක්ෂ හැටකට ආසන්නය. වසර හතරක් රටට සේවය කර ලක්ෂ හැටක ඉතිරියක් සහිතව අලූත් ගමනක් ආරම්භ කළ හැකි තැනකට ශ‍්‍රී ලංකාවේ මානව සම්පත ප‍්‍රයෝජනයට ගත නොහැකි ඇයි? බලයට පත්වන ආණ්ඩු ස්වයං රැකියා ණය යෝජනා ක‍්‍රම හදුන්වා දෙන අතර ඒවායේ කුඩා ව්‍යවසයාය පසුව අත්හැර දැමේ. පසු විපරමක් නැත. අත්දැකීම් රහිත තරුණන් ස්ථිර රැකියාවක් ලැබීම සමග එයින් ඉවත්වෙති.

නිසි පුහුණුවක්, විශිෂ්ඨ විනයක් සහ ධෛර්යය සම්පන්න තරුණ ජනකොටසක් සදහා නවතම සැලැස්මක් ඉදිරිපත් කරන්නට රජයට හැක. ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට ද ඉඩ තිබේ. ඉන්දීය වැඩ පිලිවෙලට සමාන්තරව ආරම්භ කළහොත් වසර හතර අවසානයේ රුපියල් ලක්ෂ හැටක ඉතිරියක් තරුණන්ට ලැබේ. ප‍්‍රබෝධමත් වන තරුණ පිරිස් අලූත් ව්‍යවසායයක් ආරම්භ කරනු ඇත. ඉඩමක් මිල දී ගෙන තවත් ප‍්‍රාග්ධනය සපයා ගැනීමෙන් පසු රටට නිෂ්පාදනයක් කරන පිරිසක් බවට පත් කළ හැක. කෙටි කාලීන ආර්ථික සැලැස්මක් හා සමානව දිග කාලීන දර්ශනයක් සහිත වැඩඩ පිලිවෙලක් රටට අවශ්‍ය කෙරේ.