කොවිඞ් -19 වෛයිරසය බිහිසුණු ආකාරයකින් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. පළමුවරට රෝගය හදුනාගත් අවස්ථාවේ සිට අද දක්වා බරපතල සමාජ, ආර්ථික ප‍්‍රශ්න ඇති කරන ලද බව සදහන් කළ යුතුය. පළමු අවස්ථාවල දී සමහර ජන කොටස් මෙහි බරපතලකම ගැන තැකීමක් කළේ නැත. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර පොදු ස්ථාන සීමා කරන තීරණ වලදී ඇතැම් රටවල විරෝධතා පවා හට ගැණින. දෙවැනි හා තුන්වැනි රැළි නැගී එන අතර වෛරසය විවිධ ප‍්‍රබේධවලට හැරී ජන ජීවිත බිලිගන්නා තැනට පත්ව තිබේ.
අසල්වැසි ඉන්දියාව මුහුණ පා ඇති තත්ත්වය එක උදාහරණයකි. ඉන්දියාවේ ප‍්‍රධාන නගරවල ජීවත්වන සමහරක් ජන කොටස් සැහැල්ලූවෙන් හැසිරුණ අතර එහි ප‍්‍රතිඵලය භයානක ආපදා තත්ත්වයක් ඇති කර තිබේ. නවදිල්ලි නගරය තාවකාලිකව වසා දමන ලද අතර ජන ජීවිතය දුෂ්කර තැනකට පත්විය. රෝහල් පහසුකම් පවා සීමාසහිත වූ බව වාර්තා වෙයි. ප‍්‍රාන්ත ගණනාවක දිනපතා රෝගීන් වාර්තාවීම වර්ධනය විය. දිනපතා කොවිඞ් රෝගීන් ලක්ෂ තුනහමාර ඉක්මවා වාර්තාවන තත්ත්වයක් පසුගිය සතියක කාලයක් ඉන්දියාවෙහි නිර්මාණයවීම දැඩි අවධානයට ගත යුතු කාරණයකි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත් සතියේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග සාකච්ඡා කර තිබේ. කොවිඞ් වසංගත තත්ත්වයට එරෙහිව කරන සටනට ඇමරිකාවෙන් ලැබෙන සහාය ගැන කෘතඥතාව පළ කර ඇති බව අනාවරණය වෙයි. කොවිඞ් එන්නත නිපදවීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිගයකින් තොරව ඉන්දියාවට සපයන එකගත්වයකට ඇමරිකාව එළැඹ ඇති බව දැක්වෙයි. ඇමරිකාව හා ඉන්දියාව යන දෙරට අතර අලූතින් ඇති කරගත් සෞඛ්‍ය හවුල්කාරීත්වය කොවිඞ් තර්ජනය පාලනය කරන ජාත්‍යන්තර පියවරෙහි සැලකිය යුතු සාධකයක් වනු ඇතැයි සැලකේ.
කොවිඞ් වෛරසයේ ව්‍යාප්තිය සමග පළමු හා දෙවැනි රැළිවල දී ධනවත් හා බලවත් රටවල් ක‍්‍රියාත්මක වූ ආකාරය ගැන ගැටළු තිබේ. සමහර රටවල් ආත්මාර්ථකාමී ආකාරයකින් ක‍්‍රියා කළේය. තමන් පමණක් ආරක්ෂාවීමට මුල් තැනක් දුන් අතර බෙහෙත් හා එන්නත් අනවශ්‍ය ප‍්‍රමාණයට මිල දී ගෙන ගබඩා කරගත් බව සදහන්ය. විපත් අවස්ථාවක දී එවැනි තීරණ ගැනීම අස්වභාවික නැත. දියුණු වෙමින් පවතින රටවල මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ද වටිනාකමක් තිබේ. එම ජීවිත ආරක්ෂා කරන්නේ කෙසේද? යන්න ගැනත් කල්පනා කළ යුතුය.
විපතට පත් රටවලට සමාන අවස්ථා සම්පාදනය අරමුණු කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ අරමුදලක් ස්ථාපිත කළේය. ප‍්‍රකට පරිත්‍යාගශීලී ආයතන මුදල් ආධාර කළහ. කොවැක්ස් නමින් ව්‍යුහයක් සකස් කරන ලද අතර ආධාර බෙදාදීම, එන්නත් සැපයීම යනාදිය සාධාරණ රාමුවක් තුළ කරන්නට පියවර ගත්හ. සමාන අවස්ථා කෙසේ නමුත් ඉන්දියාව තුළ වර්ධනය වූ වාතාවරණය සැසදිය නොහැකිය. එකී පසුබිම තුළ ඇමරිකාව සිය ස්ථාවරය වෙනස් කර තිබේ. ඉන්දියාවට අවශ්‍ය සහාය පළ කරන තීරණයක් ගෙන ඇත. එය ඉතා වැදගත් තීන්දුවකි. පැය විසි හතර තුළ ඕනැම අවස්ථාවක ඉන්දියානු ජනතාව වෙනුවෙන් ඖෂධ, ඔක්සිජන් සපයන අතර අවශ්‍ය වෙතොත් මුල්‍ය ආධාර කරන්නට ද එකග වී ඇති බව දැක්වෙයි. ඇමරිකාවට හැර ලෝකයේ අනෙක් රටවලට දැවැන්ත ඉන්දියාවට අවශ්‍ය තරමට සහාය පළ කළ නොහැකිය. ඉන්දියාව ලෝක ආර්ථිකයේ පස්වැනි බලවතා වන අතර ජනගහනය අතින් දෙවැනි වන්නේ චීනයට පමණකි.
කොවිඞ් වෛරස පාලනය කිරීම සදහා ඇස්ට‍්‍රා සෙනිකා එන්නත් මිලියන හැටක් ලෝකයේ වෙනත් රටවලට බෙදාහරින්නට ඇමරිකාව තීරණය කර තිබේ. ජනාධිපති බයිඩන් ගේ පාලනය ලෝකයේ පවතින වසංගත තත්ත්වය මැනැවින් අධ්‍යයනය කර ඇති අතර ඉන්දියාව ඇතුළු රටවල පැතිරීම පාලනය අත්‍යවශ්‍ය කාරණයක් බව හදුනාගෙන ඇත. එහෙත් ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය ඇස්ට‍්‍රා සෙනිකා එන්නත මෙතෙක් නිල වශයෙන් අනුමත කර නැත. අනෙක් එන්නත් වර්ග ඇමරිකානුවන්ට නික්ෂේපනය කරන අතරවාරයේ තමන්ට හැකි පමණින් අර්බුදයකට පත් රටවලට ඇස්ට‍්‍රා සෙනිකා එන්නත ලබාදීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ වී තිබේ.
ඉන්දියානු සමාගම් දෙකක් මෙම එන්නත නිපදවන අතර අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්නට සිදුවී තිබේ. ඇමරිකාවේ තීරණය අනුව බාධාවකින් තොරව එන්නත නිපදවන්නට ඉඩ ලැබේ. ශ‍්‍රීරාම් ඉන්ස්ටිටියුට් හා භාරත් බයෝටෙක් යන සමාගම් දෙක එන්නත් නිෂ්පාදනයෙහි නිරත ප‍්‍රධාන සමාගම් දෙකකි. එම සමාගම් වලට ලැබෙන අඛණ්ඩ සහාය එන්නත නිෂ්පාදනයට ඉඩ සැපයීමකි. ජාත්‍යන්තර ප‍්‍රසාදය ලබාගැනීම සදහා ඇමරිකාව දරන ප‍්‍රයත්නය තුළ කොවිඞ්-19 මර්දනය වෙනුවෙන් දෙන දායකත්වය සන්ධිස්ථානයක් වී තිබේ.
ඉන්දියාව තුළ සිදුවෙන වෛරසයේ පැතිරීම සලකා බලන ඇතැම් පාර්ශව ලෝකයේ සම්පත් අසමතුලිත ලෙස බෙදෙන ආකාරය අලූත් ප‍්‍රවේශයකින් ප‍්‍රශ්න කරන බව පෙනේ. ලෝක බැංකුව දක්වන අන්දමට ඉහළ ආදායම් මටට්මක ජීවත්වන පිරිස ලෝක ජනගහනයෙන් සියයට දහසයකි. මෙතෙක් නිෂ්පාදනය කර ඇති එන්නත් වලින් සියයට පනහක කොටසක් මෙම ප‍්‍රතිශතය වෙනුවෙන් වෙන්කරගෙන ඇති බව ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක් දක්වයි. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා යුරෝපා රටවල් ගෙන ඇති තීන්දුවලින් ගැටළු පැන නැගී තිබේ. ඩියුක් විශ්ව විද්‍යාලය දක්වන පරිදි එළැඹෙන ජුලි මාසය උදාවන විට ඇමරිකානු ජනගහනයට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා මිලියන ගණනක් එන්නත් එරට පවතිනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඞ් වසංගත තත්ත්වයෙන් විපතට පත්වන රටවල් දෙස අවධානයකින් සිටී. සාධාරණ රාමුවක් සදහා තීරණ ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම වසර තුළ ආධාර අවශ්‍ය රටවලට එන්නත් බිලියන දෙකක් බෙදා දෙන සැලැස්මක් යෝජනා කර තිබේ. ප‍්‍රමාණවත් තරමට ධනය නොමැතිවීම එවැනි ඉලක්කයකට ඇති ප‍්‍රධාන බාධාවකි. කොවැක්ස් සංවිධානයේ වැඩපිලිවෙල තුළින් මෙතෙක් ලෝකය පුරා බෙදා හැර ඇති එන්නත් ප‍්‍රමාණය මිලියන 43 ක් පමණකි. ඉන්දියාවේ උද්ගතව ඇති තත්ත්වය මෙකී හිඩැස ඇති කළ හැකි භයානක අනතුර මැනැවින් විදහා දක්වන බව පෙනේ. ඇමරිකාව සිය රටවැසියන්ගෙන් සියයට 28.5 ක ප‍්‍රතිශතයකට එන්නත් ලබා දීමට සමත්ව ඇති පසුබිමක ඉන්දියාව තවමත් ජනගහනයෙන් සියයට 1.55 කට පමණක් එන්නත් ලබා දෙන්නට සමත්ව ඇති බව පමණක් මෙහි දී සදහන් කළ යුතුය.
ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව වැනි රටවල් එන්නත් සම්බන්ධයෙන් පවතින පේටන්ඞ් අයිතිය තාවකාලිකව අත්හරින යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ. එන්නත නිපදවන සමාගම් වලට ඇති අයිතිය අත්හැරීමෙන් පසු ඕනෑම රටකට එහි සංයෝග භාවිතා කර නිදහසේ නිපදවිය හැකිය. වාර්තා දක්වන පරිදි ලෝකයේ රටවල් අසූවක, ඖෂධ නිෂ්පාදනය කරන ආයතන දහස් ගණනකට එයට හැකියාව තිබේ. එහෙත් එන්නත නිපදවන වියදම දරන ලද පාර්ශව තවමත් තම අයිතිය පවරන්නට සූදානම් නැත. බටහිර රටවල් තවමත් එන්නත සම්බන්ධ නිෂ්පාදන අයිතිය ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් සිටී. කෙසේ නමුත් ලබන මාසය අවසන්වන විට ඇමරිකාව එකී තීරණය සම්බන්ධයෙන් යම් වෙනසක් ප‍්‍රකාශ කරනු ඇතැයි විශ්වාස කෙරේ. ඇමරිකානු සෙනෙට් මණ්ඩල සභිකයන් ගණනාවක් දැනටමත් එයට බලකරන ව්‍යාපාරයක් අරඹා ඇත.
ඉන්දියාවේ පවතින තත්ත්වය යහපත් නැත. ලෝක ප‍්‍රජාව විශාල අනුකම්පාවකින් බලා සිටී. එන්නත නිපදවිය හැකි තාක්ෂණය සහිත ඉන්දියාව පේන්ටඞ් අයිතිය ප‍්‍රශ්නයක් වී තිබේ. දිනපතා ලක්ෂ ගණනින් වෛරසයට ගොදුරුවන අතරතුර පවා තීරණයක් රහිතව සිටීම සුදුසු නැති බවට ස්වාධීන මතධාරීහු අදහස් පළ කරමින් සිටිති. ලෝකයේ නොයෙක් තැන් වල සිදුවන මෙවැනි සිද්ධි විමර්ශණය කරන විට ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතු පිලිවෙල වෙනස් එකක් විය යුතුය. වලක්වා ගැනීම වැදගත්ය. මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි සීමාව තුළ රෝගීන් පවත්වා ගැනීමට උපරිම වෙහෙස දැරිය යුතුව තිබේ.
|