» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/01/2022 - ඉරිදා ලංකාදීප
ආර්ථිකයේ පුනර්ජීවනයක් සදහා පැහැදිලි සැලැස්මක්

කොවිඞ් වසංගතයේ ඉතා වේදනා සහගත තත්ත්වයන් දෙකකට මුහුණ දුන් ඉන්දියාව එක්තරා ආකාරයක සැනසිලිදායක තැනකය. ඉකුත් දෙසැම්බර් මැද වනවිට ජීවිත හාර ලක්ෂ හැත්තෑ හය දහසක් ඉන්දියාවට අහිමි වී තිබුණි. මිලියන සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපාය අවහිර කරන ලද අතර ආර්ථික හා සමාජ වශයෙන් එල්ල වූ ඉතාම පීඩනය ප‍්‍රබල වූ බව සදහන් කළ යුතුය. එහි ප‍්‍රතිඵලයක් වහයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහතට වැටිණ. දේශපාලන පක්ෂ හා ජනී ජනයා ගේ විරෝධතා දසතින්ම එල්ල විය. කොවිඞ් වසංගතයෙන් මිය ගිය පිරිසගේ අවසන් කටයුතු සිදුවූ හා රෝගීන් ඔක්සිජන් හිගයෙන් පීඩා විදින ලද ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ලද ප‍්‍රධාන තොරතුරු අතර තිබුණි.

ජන සමාජයෙන් එල්ල වූ විරෝධය පමණක් නොව කොවිඞ් වසංගතය සමග පැන නැගුණ දරුණු ආර්ථික අර්බුදය ඉන්දියාව දෙදරවන ලද කරුණකි. ඉන්දියා ටුඬේ සගරාවේ ඉකුත් අගෝස්තු මාසයේ අවසාන සතියේ කවරයේ කතාව ‘ඉන්දීය ආර්ථිකය ඉතාම කණගාටුදායක තැනක යන මැයෙන් පළ විය. 2021 වසර අවසානයේ පළවූ ඉන්දියා ටුඬේ සගරාව පුනර්ජීවනයක් සදහා ගමන් කරන දුෂ්කර මාවත ගැනත්, ජයග‍්‍රාහී අවසානයක් කෙරෙහි පවතින බලාපොරොත්තුවත් මැනැවින් විග‍්‍රහ කර තිබේ. මාස කිහිපයක් තුළ වෙනස්කම් ඇති වී තිබේ. කොවිඞ් තත්ත්වය සමග ඉකුත් කාලයේ ඉන්දියාව ගමන් කරන ලද සංකීර්ණ ගමන අධ්‍යයනය කළ යුතුය. දුර්වල වූ තැන සිට ඉතාම වේගයෙන් නැවත නැගිටීම දක්වා කතාන්දරය විස්මිතය. ලෝකයේ ඕනෑම රටකට ආදර්ශයට ගත හැකි පණිවුඩයක් එහි ගැබ්ව ඇත.

ඉන්දීය ආර්ථිකයේ වේගය 2016-17 මුල්‍ය වසරේ සිට ක‍්‍රමයෙන් පිරිහීමක් සනිටුහන් කරයි. එය වසංගත තත්ත්වයට කලින් සිට නිරීක්ෂණය කළ හැකි වූ කරුණකි. 2020 වසරේ හතරවැනි කාර්තුව වන විට සංවර්ධන වේගය සියයට 8.6 ක සිට සියයට 4 දක්වා පහතට වැටී තිබුණි. වසංගත තත්ත්වය හා එය පාලනය කරන පියවරක් වශයෙන් ඉන්දියාවේ ප‍්‍රදේශ විශාල වශයෙන් ලොක් ඩවුන් කළ අතර එහි ප‍්‍රතිඵලය වූයේ හතලිස් අවුරුද්දකට මෙපිට දරුණුම තැනට ඉන්දියාවේ ආර්ථිකය පසුබැසීම බව එරට මුල්‍ය වාර්තා අනාවරණය කරයි. 2020 -21 මුල්‍ය වසරේ පළමු මාස තුන තුළ සියයට 23.9 කින් සහ එයින් පසු තවත් සියයට 7.4 කින් පිරිහී ගිය ඉන්දීය ආර්ථිකය අවසානයේ දී සියයට 7.3 ක රින අගයක් වාර්තා කරන තැනට පත්විය.

දැවැන්ත රටක් සහ බලවත් ආර්ථිකයක් සහිත ඉන්දියාවේ අවිනිශ්චිත භාවය ආර්ථික විශ්ලේශකයන් නිහඩ කරවන සුළු විය. විශාල ජනගහනය සදහා පවතින සැලසුම් අඩපණ වුවහොත් මතුවිය හැකි අනතුරුදායක ස්වභාවය ගැන භීතියක් රට පුරා පැතිරී තිබුණි. කර්මාන්ත හා ව්‍යාපාර අංශ යුහුසුළුව නිසි පියවර සදහා සූදානම් කරන්නට විය. එහි ප‍්‍රතිඵල ලැබී තිබේ. ඉන්දියාව නැවත ප‍්‍රශස්ථ තැනකය. පරිභෝජනය හා ආයෝජනය නොවෙනස්ව තබාගැනීම මෙකී ඉක්මන් වර්ධනයේ අභන්තර බලය බව ප‍්‍රකාශ වී තිබේ. දුර්වල වූ තැන් නැවත සැකසී ඇත. පරිභෝජනය සියයට දොලහකින් නැංවී තිබේ. කඩසාප්පු වසා දමා සංචරණය තහනම්ව පැවැති නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම අඩාලවූයේ නැත. තාක්ෂණය එයට හේතුව වශයෙන් සදහන් කළ හැක. ඉන්දියාව තොරතුරු තාක්ෂණය වේගවත් පියවරක් තබා ඇති රටකි. තරුණ හා වැඩිහිටි ප‍්‍රජාව අතර පරිගනක හා අන්තර් ජාල භාවිතාව දියුණුය. රට ලොක් ඩවුන් කරන අතරවාරයේ නිවෙස්වලට භාණ්ඩ ඇනවුම් කළ හැකි සේවා වේගයෙන් ප‍්‍රචලිත විය. කාඞ්පත්වලින් ගෙවීම පමණක් නොව නිවසට ප‍්‍රවාහනය කිරීමෙන් පසුව මුදලින් ගෙවිය හැකි ආකාරයට ක‍්‍රම සම්පාදනය දුප්පත් ජනතාවට පවා පහසුවක් වූ බව ස`දහන් කරන්නට අවශ්‍යය.

අන්තර් ජාලයෙන් වෙළදාම කාර්යක්ෂම වූ අතර ව්‍යාපාරවල පිරිවැටුම අඩු වූයේ නැති බව ව්‍යාපාරික අංශ සදහන් කරන කරුණකි. ඉන්දිය රජයේ ආදායම් වාර්තා අනුව බදු ආදායම පහත වැටී නැත. 2021 නොවැම්බර් මාසයේ එරට නිෂ්පාදනය මාස හයක් තුළ වැඩිම තැනට පත්ව ඇති අතර අගෝස්තු මාසයේ දී විරුකියා ප‍්‍රතිශතය සියයට 8.32 ක් වූ නමුත් පසුගිය නොවැම්බර් මාසය වන විට එය නැවතත් සියයට 7 ක ප‍්‍රතිශතය දක්වා පත්වීම විශේෂත්වයකි. ජනී ජනයා කවර ආකාරයේ හෝ වෘත්තියක නිරත වූ අතර මහජනතාවගේ අතට කිසියම් මුදලක් ලැබෙන තැනට පත්වීම එයින් හෙළිකරයි. ලෝක වෙළද පොලේ ඉන්ධන මිල සලකා බලන ලද ඉන්දීය රජය 2021 ඔක්තෝම්බර් මාසයේ දී මිල ගණන් සංශෝධනය කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස විදුලිය ගාස්තු ද ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා ලේඛන දක්වයි.

මුහුණ දුන් සංකීර්ණ තත්ත්වය ඉදිරියේ ඉන්දියාව දැවැන්ත සැලසුමක් සහිත ආර්ථික ප‍්‍රතිසංස්කරණයකට ගියේය. එයාර් ඉන්දියා ගුවන් සේවාව, දුම්රිය මාර්ග, මහා මාර්ග ඇතුළු අංශ ගණනාවකට විහි දී ගිය පුද්ගලීකරණ වැඩසටහන මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 29 කි. සංවර්ධන අභිලාශ සාක්ෂාත් කරගැනීම සදහා පාර්ලිමේන්තු පණතකින් 1964 වසරේ ස්ථාපිත කළ අයි.ඞී.බී.අයි බැංකුව පුද්ගලිකරණය ඇතුළු මුල්‍ය අංශයේ වෙනස්කම් මෙම වසරේ යෝජිතය. රජයට අයත් අසාර්ථක ව්‍යාපාර ආයෝජකයන්ට පවරන අතර ඒවා ලබාගන්නා දේශීය හෝ විදේශීය ආයතන තරගකාරීව මෙහෙයැවීමෙන් රටට ජවයක් ඇති කරනු ඇතැයි සැලකේ.

එක පැත්තකින් පුද්ගලීකරණ සැලැස්මක් කරා ගමන් කරන ඉන්දියාව, 2019-25 කාලය තුළ රට පුරා අලූත් ව්‍යාපෘති 9,138 ආරම්භ කරන ජාතික යටිතල පහසුකම් ව්‍යාපෘතියක් අරඹයි. වරාය 91 ක්, ගුවන් තොටුපොල 93 ක් සහ අධිවේගී දුම්රිය මාර්ග විසි එකක් සහිතව අලූත් දුම්රිය මාර්ග පද්ධති 612 ක් ද එයට ඇතුලත්ය. වැය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1,950 ක් බව දැක්වෙයි. අංශ තිස් හතරකට මෙම ව්‍යාපෘති වෙන් කර තිබේ. ඉන්වෙස්ට් ඉන්දියා යනුවෙන් ප‍්‍රචාරයක් ද අරඹයි. රාජ්‍ය අංශය හා සමානව පුද්ගලික අංශයට ද එහි නිරතවන අවකාශයක් නිර්මාණය කර තිබේ. මෙම ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවෙනවිට තවත් රැකියා අවස්ථා බිහි වෙනු ඇත. එමගින් තාක්ෂණය දියුණුවෙයි. වැයකරන ධනය රට පුරා විහිදෙයි. කොවිඞ් වසංගත තත්ත්වය හෙයින් අක‍්‍රිය, හා පහතට නැඹුරු වූ අංශ වේගයෙන් නැවත පුබුදුවනු ඇත.

ඉන්දීය ආණ්ඩුව කෙරෙහි පවතින අකමැත්ත මෙවැනි අලූත් ප‍්‍රභාවකින් අවම කරනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. කොවිඞ් කාලයේ දරුණු පිරිහීමකට එනම් වසර හතලිහකට මෙපිට අවම අගයකට පත් ඉන්දියානු ආර්ථික වර්ධනය නව සැලැස්ම අනුව පුනර්ජීවනයකය. ඉක්මන් වර්ධනයකය. ජගත් විචාරකයෝ මෙය ‘ වී’ ආකාරයේ නැග්මක් වශයෙන් දක්වති. දුර්වල වූ වේගය හා සමානව නැවත ඉක්මනින් නැගී සිටින්නට හැකියාව ලැබී ඇත. සමාජයේ නොසන්සුන්තාව බෙහෙවින් අඩු වී තිබේ. අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය යළිත් නැගෙන්නට ඉඩ ඇති බව කියැවේ.

අනපේක්ෂිත තත්ත්ව හමුවේ ආර්ථිකයක ගැටළු නිර්මාණය වෙයි. ඒවාට විසදුම් තිබේ. පරිභෝජනය නිසි පරිදි පවත්වාගැනීමෙන් නිෂ්පාදනය අඩාල නොවනු ඇත. රට ලොක් ඩවුන් නමුත් ආයෝජන අංශයන් ද එකසේ ක‍්‍රියාත්මක කළ හැක. ඉන්දියාවෙන් ලැබුණ අත්දැකීම අපට හොද පාඩමකි. විවිධ රටවල් එකිනෙකට වෙනස් ක‍්‍රම අනුගමනය කරයි. දැවැන්ත ආර්ථිකයක් සහිත, විශාල ව්‍යාපාර ජාල පවත්වාගෙන යන රටකට කළ හැකි දේ කුඩා රටකට ක‍්‍රියාවට නැංවීම පහසු නැත. දුෂ්කරතා ඇතිවෙයි. සාර්ථකත්වය සදහා නායකත්ව අනුගමනය කරන ක‍්‍රම කෙරෙහි සමාජය තුළ ඇති විශ්වාසය ඉතා වැදගත්ය. විශ්වාසය තුළින් දේශපාලන ස්ථාවරභාවය නිර්මාණය වෙයි. එය ආයෝජකයන් අපේක්ෂා කරන වැදගත්ම සාධකයකි. ලෝක ඉතිහාසයේ මෙතෙක් නොතිබුණ අලූත් ව්‍යුහ දැනට පැතිරී ඇත. වසංගත තත්ත්වය සමග තාක්ෂණය, විද්‍යාව හා සෞඛ්‍ය අංශ විශාල දියුණුවක් ලබා තිබේ. එහි අවසානය ජනී ජනයාගේ ජීවිතවල යහපත් බලපෑමක් විය යුතුය.

අලූත් අවුරුද්දේ අභියෝග ගණනාවකි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය හා සමාජ තත්ත්වය ගැන අලූතින් හිතන්නට සිදුවෙයි. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයෝජන ගැන සැලකිල්ල යොමු කිරීම අවශ්‍යය. ජනතාව එකතු කර පවතින ක‍්‍රමය කෙරෙහි විශ්වාසය අලූතින් දිනාගැනීම ද ඉතාම වැදගත් කාරණයකි.