» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/08/2021 - ඉරිදා ලංකාදීප
මහරජ - අඹ ගස ඉන්දියාවේ ජාතික පළතුර වනු ඇත

ලංකාවට බුදු දහම රැගෙන වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ දඩකෙළියෙහි නිරතව සිටි දේවානම් පියතිස්ස රජ තුමා අමතන ලද බව ඉතිහාසය දක්වයි. රජ තුමනි මෙම ගස කමක්දැයි විමසා තිබේ. එය අඹ ගසකි. එම විමසීම තුළ ධර්මය අවබෝධ කරගැනීමට තරම් තිබිය යුතු දැනුම නිරීක්ෂණය කර ඇත. අඹ ගස එවකට ද මෙහි බහුලව තිබුණ බවට සාක්ෂියකි. මෙම ගස අනාගතයේ දී ඉන්දියාවේ ජාතික පළතුර වශයෙන් නම් කරන්නට ඉඩ ඇති බව නොකියැවෙන්නට ඇත. එහෙත් කාලාන්තරයක් තිස්සේ අඹ වෘක්ෂයෙන් ලැබුණ ඵලදාව, එහි පෝෂණය ගැන කල්පනා කරන ඉන්දියාව එරට ජාතික පළතුරු විශේෂය සේ නම් කර තිබේ.

ජාතික පළතුර ලෙස නම් කරන්නට තරම් සුවිශේෂී ලක්ෂණ අඹ ගසකට තිබිය යුතුය. එහි ගැබ්ව ඇති අනන්‍ය සංස්කෘතික ආකර්ශණීයත්වය ජගත් ප‍්‍රජාවට හුවා දැක්වීම අවශ්‍යය. ඉන්දීය ශිෂ්ටාචාරය තුළ අඹ ගසට නිශ්චිත තැනක් සලකුණු වී ඇති අතර ආගමික සහ අධ්‍යාත්මික බැදීම එහි ලා වැදගත් සාධකයකි. පළතුරු විශේෂ අතර ඉහළම තැනක් දිනා ගන්නට ඉන්දියාව තුළ සමත් වී ඇති අතර එහි රසය සහ පෝෂණය ජගත් ප‍්‍රජාව ගේ කැමැත්ත දිනා ගන්නා හේතුවකි. අඹ ගස ඉන්දියාව පුරා, විවිධ දේශගුණික තත්ත්ව යටතේ හොදින් වැඩෙන ශාඛයකි. සිය ගණනක් විශේෂ තිබේ. ප‍්‍රමාණය, වර්ණය හා රසය අනුව එකිනෙකට වෙනස් නම් වලින් හදුන්වයි.

අඹ වෘක්ෂය ගැන හින්දු සාහිත්‍යයෙහි සදහන්ය. රාමායනය සහ මහාභාරත් වැනි දැවැන්ත නිර්මාණයන් හි අඹ ගැන දක්වන්න් අඹ ඵලය ආදරයේ සංකේතයක් වශයෙනි. රාමායනය ලියන වාල්මිකී රාම, ලක්ෂමන හා සීතා විසූ අඹ වනය දණ්ඩක යනුවෙන් දක්වයි. රාවණ සීතා පැහැරගන්නේ දණ්ඩක අඹ වනයේ දී ය. ව්‍යාස මහා සෘෂිවරයා පුරානස් හි විවිධ පැති ගැන සංස්කෘත භාෂාවෙන් ලියන අතර අඹ ගැන ද දක්වයි. ශිව හා පාර්වතිය ගේ දරුවන් වන මුරුගන් හා ගනේෂ් යන දෙදෙනා අඹ ගෙඩියකට වාද කර තිබේ. ලංකාවේ දි මුරුගන් - කතරගම දෙවියන් වශයෙන් සලකන අතර ගනේෂ් ගණ දෙවියන්ය. වඩා බුද්ධිමත් වූ ගණ දෙවියන් අඹ ගෙඩිය දිනා ගන්නට සමත් වී ඇතැයි දැක්වෙයි. හින්දු පූජා අවස්ථාවල අඹ කොළ වලට උසස් තැනක් ලැබේ. පුද පුජා පිරිනැමීමේ දී අඹ කොළ අතුරයි. අඹ කොළයට ලක්ෂ්මී දෙවගන ගේ බැල්ම ලබන බවට ද විශ්වාසයක් ඇත. හින්දු උත්සව අවස්ථාවල නිවස අවට, ඇතුළුවන දොරටුව අඹ කොළවලින් සරසති. දේවකතා වලට අනුව පත්තිනි දේවිය ගැනත් වර්ණනා කරන්නේ අඹෙනි, අඹ මලෙනි උපන් වශයෙන්ය. ඉන්දීය දේවකතාවලට පමණක් නොව සැබෑ ජීවිතයේ දී ද අඹ ගසට ලැබී ඇති පිලිගැනීම මහත්ය. ඉදුණු අඹ පාර්සලයක් තෑගි කිරීම ඉන්දියානු ජන ජීවිතයේ දී මිත‍්‍රත්වය තහවුරු කරගන්නට හොදම පිලිවෙලකි.

ඉන්දියාව පමණක් නොව පකිස්තානය, හා පිලිපීනය ද සිය ජාතික පලතුර වශයෙන් අඹ නම් කර ඇත. බංගලාදේශය ජාතික වෘක්ෂය සේ සලකයි. කි‍්‍රස්තු පූර්ව 400-500 වැනි ඈත කාලයේ දී ආසියාවේ සිට සිදුවූ ජන සංක‍්‍රමණ සමග අඹ වගාව ආසියාවේ සිට මැද පෙරදිග, නැගෙනහිර අප‍්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවලට ව්‍යාප්ත වන්නට ඇතැයි සැක කෙරේ. අඹ ගසෙහි නිජ භූමිය ද ඉන්දියාව බව පර්යේෂකයෝ දක්වති. පෘතුගීසි ජාතිකයන් කල්කටාවට පැමිණ එහි බලය තහවුරු කරගත් පසු අඹ එකතු කර සිය රට පටවා තිබේ. පළමුවෙන් අඹ වෙදාම ගැන අනාවරණය වෙන්නේ එතැනින්ය. ඉතාම දියුණු විශේෂ දක්වා අඹ ගස ජානමය වෙනස්කම් වලට ලක් කර ඇත. වඩා උස් නැති සහ වැඩි අස්වැන්නක් ලැබෙන ප‍්‍රබේධ දියුණු කරගෙන තිබේ. එයින් එකක් මෝදි අඹ වශයෙන් නම් කර ඇති අතර එය වත්මන් ඉන්දීය අගමැතිවරයාට උපහාරයක් වශයෙනි.

ලෝකයේ රටවල පලතුරක් වශයෙන් අඹ වලට පවතින ඉල්ලූම සලකන විට වැඩිම සැපයුමක් කරන්නේ ඉන්දියාවයි. වාර්ෂික අපනයනය මෙටි‍්‍රක් ටොන් මිලියන විස්සක් වන අතර එය ලෝකයේ කරන වෙළදාමෙන් හරි අඩක් බව දැක්වෙයි. කෙසේ වෙතත් මහජන චීන සමූහාණ්ඩුව අඹ අපනයනයෙහි නිරත රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන අත්පත් කරගෙන සිටී.

පලතුරක් වශයෙන් බහුලවම වගා කරන අඹ ගැන තවදුරටත් හැදෑරීම සුදුසුය. ශ‍්‍රී ලංකාවට එයින් ලබා ගත හැකි අවස්ථා තිබේ. ලෝක අඹ දිනයක් තිබේ. එය ගෙවුණු විසි දෙවැනි දා ය. නැවතත් එම දිනය සමරන්නේ ලබන වසරේ ජූලි 22 වන හෙයින් ශ‍්‍රී ලංකාවේ අපට, මෙරට කෘෂිකර්ම බලධාරීන්ට අවධානය යොමු කරන්නට කාලය ප‍්‍රමාණවත්ය. අඹ අපනයනය කරන ඉන්දියාව ජපානයේ ජනප‍්‍රිය තවත් අඹ විශේෂයක් ඇසුරෙන් කරන වගාවක් ගැන ද මෙහි දී විශේෂයෙන් සදහන් කළ යුතුව තිබේ. පැහැය, රසය අනුව ඉස්තරම්ය. මියාසාකි අඹ යනුවෙන් හැදින්වෙයි. ඉදුණු පසු රූබි පැහැයෙන් යුතු මෙම අඹ වගාවක අස්වැන්න ගැන ඉකුත් ජනවාරියේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි. අඹ වගාවට යොදා ගෙන තිබුණේ ගස් දෙකකි. එහි අස්වැන්න ආරක්ෂා කිරීමට සේවකයෙකු හා මුර බල්ලන් ද යොදා ගෙන තිබුණ බව දක්වයි. එම අඹ කිලෝවක් ඉන්දියානු රුපියල් ලක්ෂ දෙකහමාරකට මිල කර තිබුණ බව විශ්වාස කරන්නටත් අපහසුය. එහෙත් වගාව කරගෙන යන ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ අඹු සැමි යුවල සිය අස්වැන්න හා ආදායම ගැන ඉන්දීය මාධ්‍යවලට මැනැවින් කරුණු විස්තර කර ඇත.

මෙම මියාසාකි අඹ පැවත එන්නේ ජපානයෙන්ය. ජපානයේ දකුණු ප‍්‍රදේශයේ පිහිටි කයිෂු නමැති දූපතක පිරිසක් ජාතයන්තර සහාය ද ඇතිව එම අඹ විශේෂය වැඩි දියුණු කර ඇත. ලෝකයේ වැඩිම මිලක් ගෙවන අඹ වශයෙන් ප‍්‍රකටය. ඉන්දියාවේ ගොවි යුවල එයින් ගෙන එන ලද පැල වලින් අවස්ථාව උදා කරගෙන ඇත. ජපානයේ වගාකරුවන් ගේ ක‍්‍රමය දක්වන පරිදි එම අඹ පැල ආරක්ෂිත ගෘහ වල ඉතාම පරෙස්සමෙන් වගා කෙරේ. බාහිර හානි අවම කරන අතර හිරු එළිය හොදින් ලැබෙන්නට සලස්සවයි. ගෙඩි හටගැනීමෙන් පසු ඒවා දැල් වලින් ආවරණය කෙරේ. අනෙක මෙම මියාසාකි අඹ ගෙඩිය අතින් කඩාගන්නේ නැත. ගෙඩිය ඉදී නටුවෙන් ගිලිහී වැටෙන තෙක් බලා සිටී. එය ගිලිහෙන අවස්ථාවේ දී සුරක්ෂිතව ඩැහැ ගැනීමට ද දැල්වලින් සකස් කරන ලද ආවරණයක් ද සකසයි. ඉදී වැටුණ සැබෑ රූබී පැහැයෙන් යුතු අඹ ගෙඩිය විශේෂයෙන් සකස් කරන ලද ඇසුරුමක බහාලන අතර එයට ඉහළම මිලක් ගෙවන්නට ධනපතියෝ සූදානම්ය.

මෙවැනි අලූත් අවස්ථා වලින් ඉහළම ධනෝපායන මාර්ග හදාගන්නට අවස්ථාව තිබේ. සම්ප‍්‍රදායික රාමුවෙන් ගැලවෙන්නට අවශ්‍යය. පුරුදු පරිදි තේ හෝ රබර් වගාකරන අතර ඒවාය යොදන පොහොර හා අස්වැන්න නෙලාගන්නට මැසිවිලි නගන පසුබිමක් අදටත් පවතී. සියවස් ගණනක් තේ වගා කර ඇත. පැරණි තේ ගලවා ඉවත් කරන වගා කරුවෝ යළිත් එහි තේ සිටුවා ඉහළම ආදායමක් අපේක්ෂා කරති. නමුත් ලෝකයේ නොයෙක් තැන අපූරු සිදුවීම් සිදුවෙයි. තේ වෙනුවට ෆාම් ඔයිල් වගාකරන්නට උත්සාහ කළහොත් එයට විරුද්ධ වෙන්නේ ද අප ගේ ජන සමාජයේම කොටසකි. ලෝකයේ පවතින ඉල්ලූම අනුව කෙසෙල් වගා කළ හැකි අතර එයින් ලබා ගත හැකි ආදායම ගැන අවධානය යොමු කරන්නේ නැත. චීනයෙන් රතු කෙසෙල් එනම් රත්නමාලූ වලට විශාල ඉල්ලූමක් තිබේ. මෙරට එවැනි කෙසෙල් පැලයක් හෝ සොයා ගත නොහැකි තරමට ශේෂ වී ගොස් ඇති බව දැක්විය යුතුය. තක්කාලි, මෙලන් වැනි පලතුරු විශේෂිතව වගා කිරීමේ දී වෙළද පොලක් ඇත. අපනයන අවස්ථා තිබේ. අඹ වගාව ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? පරම්පරා ගණනකට කලින් වැඩි දියුණු කරන ලද විශේෂ වලට එහා ගිය වෙනස්ම ආකාරයේ අඹ අස්වැන්නක් ගැන කතා කරන යුගයක අප ජීවත්වන බව මෙහි දී සදහන් කළ යුතුය.