» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/05/2022 - ඉරිදා ලංකාදීප
රුසියාවෙන් මිල දී ගන්නා බොරතෙල් වලින් ඉන්දියාව කරන ආයෝජනය

ජාත්‍යන්තර ප‍්‍රජාව ඛනිජ තෙල් පරිභෝජනය ගැන අලූත් ආකාරයකට අවධානය යොමු කර ඇත. බොරතෙල් වෙනුවට හරිත බලශක්ති ප‍්‍රභව ගැන උනන්දුවක් දක්වයි. සූර්ය තාපය හෝ සුළග උපයෝගී කරගෙන මහා පරිමානයෙන් බලශක්තිය නිපදවන ක‍්‍රමවලට නැඹුරු වෙමින් සිටී. මෙම යොමුවීමට සෑහෙන කාලයක් ගත වෙනු ඇතැයි සැලකේ. වැඩිම බොරතෙල් ප‍්‍රමාණයක් නිපදවන, ඒවා මිල දී ගන්නා රටවල් අතර දැවැන්ත ආර්ථිකයක් ඇත.

නිතිපතා අවශ්‍ය බලශක්ති උත්පාදනය සදහා බොරතෙල් බහුලව භාවිතා කරන රටවවල් ලේඛනයෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාවයි. චීනයට දෙවැනි තැන හිමි වී ඇත. ඉන්දියාව ලෝකයේ තෙල් වැඩිපුරම භාවිතා කරන රටවල් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයෙහි සිටී. ජාත්‍යන්තර වර්ගීකරණ අනුව ශ‍්‍රී ලංකාව හැත්තෑ එක් වැනි තැන පසුවෙන බව සදහන් කළ යුතුය. පසුගිය මුල්‍ය වසරේ ඉන්දියාවේ බොරතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන සියයකි. ඉන්දියාව තුළ ඔවුන්ගේම තෙල් නිෂ්පාදනයක් පවතින අතර එය සුළු ප‍්‍රමාණයකි. සාමාන්‍යයෙන් වසරක අවශ්‍යතාවයෙන් සියයට 14.9 ක් පමණ ආවරණය කරගන්නා බව දැක්වේ. ඉන්දියාවට අවශ්‍ය බොරතෙල් වලින් අති විශාල ප‍්‍රමාණයක් පිටතින් ආනයනය කෙරේ.

රුසියාව හා යුක්රේනය අතර ගැටුම් ආරම්භ වන විට ලෝක ප‍්‍රජාව, රුසියාවට මිතුරු පාර්ශව දෙස වඩාත් අවධානයක් යොමු කරන ලද අතර යුක්රේනය මුදා ගැනීම සදහා රැසියාවට සම්බාධක පනවන අවශ්‍යතාව ඉදිරියට ගෙන එන ලදී. ඛනිජ තෙල්, ගෑස් හා ගල් අගුරු කර්මාන්තයෙහි ඉදිරියෙන්ම සිටින්නේ රැසියාවයි. ලෝකයේ දැනට තෙල් නිපදවන මහා පරිමාන රටවල් අතර හය වැනි තැන රුසියාවට හිමි අතර ගල් අගුරු නිපදවන රටවල් ලැයිස්තුවේ පළමු තැන උසුලයි. බලශක්ති අංශයෙහි පවතින වෙළදාම අත්හැර දැමීමෙන් රැසියාව යම් ප‍්‍රමාණයකට මෙල්ල කරගත හැකි බව ජගත් ප‍්‍රජාව කල්පනා කළහ.

බොරතෙල් පරිහරණය වැඩිපුර කරන ඉන්දියාව හා චිනයට මෙහි දී වැඩි බරක් යොමුවන බව පෙණින. එයට හේතුව මෙම රටවල් දෙකම රුසියාව සමග සමීපව කටයුතු කරන බවය. කෙසේ වෙතත් අලූත්ම වාර්තා දක්වන පරිදි ඉන්දියාව සිය තෙල් අවශ්‍යතාව සපුරා ගන්නේ රුසියාවෙන් නොවේ. ඉන්දීයාවේ, ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් අමාත්‍ය හර්දීප් පූරි සිං මහතා ඉකුත් මාර්තු විසි එක් වැනි දා රාජ්‍ය සභාවේ දී හෙළි කරන ලද පරිදි ඔවුන් රුසියාවෙන් කරන තෙල් මිල දී ගැනීම සියයට එකකි. ඇමරිකානු ඩොලර් බිලියන සියයක තෙල් මිල දී ගන්නා ඉන්දියාව රුසියාවෙන් කරන කොටස ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ බව දැක්වේ.

ඉන්දියාවේ තෙල් වෙළද පොල ගැන කරුණු දක්වන එරට වෙළද අමාත්‍යංශය තමන් වැඩිම බොරතෙල් මිල දී ගන්නා රට ඉරාකය බව හෙළි කරයි. 2021-22 මුල්‍ය වසරේ ඉන්දියාවට අවශ්‍ය තෙල් වලින් සියයට 22.4 ක් ඉරාකයෙන් ද, සියයට 16.4 ක් සවුදි අරාබියෙන් ද හා සියයට 9.2 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද මිල දී ගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. 2022 වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවල රුසියාවෙන් එකම තෙල් බැරල් එකක් හෝ ඉන්දියාව ආනයනය කර නැත. ජාත්‍යන්තර ප‍්‍රජාව රුසියාව සමග ගනුදෙනු නතර කරන සේ ඉන්දියාවට බලකරන සූදානමක සිටි නමුත් මෙම ඉලක්කම් අනුව ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඉන්දියාවේ වෙළද පොල ස්ථාවරය ඉතාම පැහැදිලිව අනාවරණය වී තිබේ. රැුසියාවෙන් පසුගිය වසරේ මිල දී ගෙන ඇති බොරතෙල් ප‍්‍රමාණය සලකන විට එය ද කිසියම් බලපෑමක් කළ හැකි මටට්මක නැත.

ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව කරන ආධාර මහත් අස්වැසිල්ලකි. කුළුණ හතරකින් යුත් වැඩපිලිවෙලක් ප‍්‍රකාශයට පත් කළ ඉන්දියාව එහි එකක් වශයෙන් දක්වන්නේ ඉන්ධන මිල දී ගැනීම හා ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය බව දැක්විය යුතුය. ඉකුත් මාර්තු 21 වැනි දින සිට ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට තෙල් මෙටි‍්‍රක් ටොන් 346,560 ක් එවා ඇති අතර එහි දී ලබා දී ඇති ආධාර මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500 කි. චක‍්‍රීය ණය ක‍්‍රමයක් යටතේ ඉන්දීයාවෙන් ලැබෙන ඛනිජ තෙල් පරිහරණය කරන ඇතැම් පිරිස් ඉන්දියාව එවන්නේ රුසියාවෙන් අඩු මිලට මිල දී ගන්නා ඉන්ධන බව ප‍්‍රකාශ කරන බව පෙනේ. සියයට එකක තෙල් ප‍්‍රමාණයක් රුසියාවෙන් මිල දී ගන්නා ඉන්දියාව මිලියන පන්සියයක වෙළදාමක් කර අයුතු ලාභ උපයන්නට උත්සාහ කරන බව ප‍්‍රකාශ කිරීම සාධාරණ නැත. දරුණු අභියෝගයකට මුහුණ දී ඇති මෙම අවස්ථාවේ සැලසුම් කළ යුතු දීර්ඝ කාලීන වාසි සලකා බව සදහන් කළ යුතුය.

ඉන්දු ශ‍්‍රී ලංකා සහයෝගීතාවයකින් අඩුම මිලට රටට අවශ්‍ය පෙට‍්‍රල් හා ඞීසල් ලබාගත හැකි ක‍්‍රමයක් ඇත. එය උපායශීලී ආයෝජනයකි. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කර දෙරට අතර ඉන්ධන වෙළදාම නල මාර්ගයකින් සම්බන්ධ කළහොත් වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයන්ටය. ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට තෙල් නැවක් එන්නට ගතවන කාලය දින හතරකි. වාර්තා දක්වන පරිදි තෙල් නැව් හයක් හතක් පමණ රටට අවශ්‍යය. කුඩා ආර්ථිකයක් ඇති ශ‍්‍රී ලංකාවට නැවු ගාස්තු අඩු කරගැනීමෙන් පවා වාසියක් ලැබේ. රටට එන තෙල් නැව් වලට ගෙවන රක්ෂණය, ගොඩබෑමේ ගාස්තු, ඒවායේ අතරමැදියන් වෙනම ආර්ථිකයකි. රටවල් දෙකක සෘජු වෙළදාමකින් මෙම පිරිවැය කපා හැරිය හැක. ඉන්දියානු තෙල් වෙළ්‍දාම වාසි සහගත ලෙස තබාගත හැකි අතර අපට අවශ්‍යනම් ලෝකයේ ඕනෑම රටකින් තෙල් මිල දී ගැනීමට ද අවස්ථාව තිබේ. දැනට ඇති විනිමය අවහිරය මග හැරී ගියහොත් දක්ෂ නිලධාරීන් ලවා අඩු මිලට තෙල් ලබාගත හැකි,දූෂණයෙන් තොර වැඩපිලිවෙලකට යා හැකි අතර ඉන්දියාව සුරක්ෂිත සැපයුමක් සේ තබාගෙන ක‍්‍රියා කළ හැක. අනෙක තෙල් පිරිපහදු කර්මාන්තයට ද අවස්ථාව තිබේ. සපුගස්කන්ද පිරිපහදුව යල් පැන ගිය එකකි. ඉරාන තෙල් හැර අනෙක් රටකින් ගෙන්වන බොරතෙල් එහි පිරිපහදු කළ නොහැක. අලූත් පිරිපහදුවක් සදහා ආයෝජනය කළ හැකි අතර එය ශ‍්‍රී ලංකාවේ වෙළදපොල පමණක් ඉලක්ක කිරීම සුදුසු නැත. මෙරට පිරිපහදු කරන ඉන්ධන ඉන්දියාවට හෝ වෙනත් රටකට අපනයනය කළ හැකි පරිදි සැලසුම් කළ හැක.

ශ‍්‍රී ලාංකික ජනතාවට වාසි අත්පත් වන, කර්මාන්ත හා ව්‍යාපාර වලට දැරිය හැකි බලශක්ති පිරිවැය ක‍්‍රමයක් අපට අවශ්‍යය. එහි රාමුව සකස් කරගැනීම අපගේ වගකීමකි. අනුන්ගේ න්‍යාය පත‍්‍ර වෙනුවට රටට ගැලපෙන ක‍්‍රමයක් නිර්මාණය කරගැනීමට බලශක්ති විශේෂඥයන් යුහුසුළු විය යුතුය. ව්‍යාපාරයක් වශයෙන් කරගන්නට අසමත් වී ඇති ඛණිජ තෙල් වෙළ`දාම ගැන අලූතින් කල්පනා කරන්නට අවශ්‍යය. අභියෝග අවස්ථාවක් කරගත යුතුය.