» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/01/2023 - ඉරිදා ලංකාදීප
මූල්‍ය පද්ධතියට ජන සමාජය ඇතුලත්කරණයට අවස්ථාවක්

නව වසරේ අලූත් අවස්ථා ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. සමාජය මුහුණ දුන් පීඩාකාරීත්වයෙන් ගැලවී අනාගතය වෙත අවතීර්ණ වන වකවානුවකි. ධෛර්යය හා අභියෝග ජයගැනීමේ හැකියාව අපට අවශ්‍යය. මෙතෙක් නොතිබුණ පැති ගැන සිතන්නට සිදුවේ. වානිජකරණය, මුල්‍ය හා ආයෝජන සාමාන්‍ය ජනසම්බන්ධතා වලට එපිටින් ඇති අවස්ථා වශයෙන් සැලකේ. නවීන තාක්ෂණය සමග එහි ඇති සංකීර්ණභාවය තුනීවෙමින් පවතී. සාමාන්‍ය ජනතාව මුල්‍ය පද්ධතියට ඇතුලත්කරණය කරගැනීම අලූතින් අවධානයට පත්ව ඇති අංශයකි.

මුල්‍ය පද්ධතියට සියළුම දෙනාට ඇතුලත්විය හැකි සමාජයක් තුළින් ආර්ථිකයක සාධාරණත්වයක් ඇතිවේ. ආර්ථිකයෙහි ප‍්‍රයෝජන සමානව ලබාගැනීමට ඉඩ ලැබෙන අතර ආදායම් පරතරය හෙයින් පීඩා විදින පිරිස් එයින් ගලවා ගෙන ශක්තිමත් කෙරේ. බැංකු හා මුල්‍ය පද්ධති ක‍්‍රියාකරන ආකාරය ගැන සාමාන්‍ය අවබෝධයක් ජනතාවට ඇත. බලවන්තයාට අවස්ථාව ලැබේ. බැංකු ප‍්‍රධානීන් හා කතාකරන්නට අසමත්, එයට දැනුමක් රහිත පිරිස පිටස්තරයෝ බවට පත් වෙති. දුප්පතුන් අතර ඉතුරුම් සංකල්ප ගොඩනැගෙන අතර එම ඉතුරුම්වල ප‍්‍රයෝජන සීමිත පිරිසකට පමණක් අවස්ථාව හිමිවේ. සමාජය මුල්‍ය ඇතුලත්කරණ සංකල්පය ඔස්සේ මෙහි විෂමතා දුරුවේ. පසුගිය කාලය තුළ ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව අතර මුල්‍ය සාක්ෂරතාවය පහල මටට්මක පැවැතිණ. බැංකු ගිණුමක් ආරම්භ කිරීමට පවා විශේෂ පරිශ‍්‍රමයක් දරන ලද බව සදහන් කළ යුතුය. ක‍්‍රමය තුළ අවස්ථා ගොඩනැගෙන අතර බැංකු ගිණුමකට ඔබ්බෙන් ඇති සංකීර්ණ මුල්‍ය පද්ධතියට ඉන්දීය ප‍්‍රජාව ප‍්‍රවේශවෙමින් සිටී.

නවීකරණය වන ඉන්දියාවේ වානිජ හා මුල්‍ය පද්ධතියට සම්බන්ධ කරගත හැකි ප‍්‍රජාවක් සදහා පියවර ගැනීමෙන් නිෂ්පාදන හා සේවා අංශයේ අවාසි සහගතව සිටි පිරිස නගා සිටුවීමට හැකිවෙන බව සැලසුම් සම්පාදකයෝ සදහන් කරති. විනිවිද පෙනෙන ක‍්‍රමවේදයකට අනුව, දුප්පත් ජනතාවට දරාගත හැකි පරිදි මුල්‍ය අංශයෙකින් නිෂ්පාදන හා සේවා සැපයෙනු ඇති බව වැඩිදුරටත් දක්වති.

ඉන්දියාව සිය වැසියන් මුල්‍ය පද්ධතියට ඇතුලත් කරන ප‍්‍රයත්නය අරඹන්නේ 2005 දී ය. සමාජය දැනුම්වත් කිරීම පහසු ප‍්‍රයත්නයක් වූයේ නැත. ඉන්දීය මහ බැංකුව සැලසුම් කරන ලද පරිදි ජන කොටස මුල්‍යකරණයට ඇතුලත් කරගැනීමෙන් ගෙවීම් හා වියදම් බැංකු මගින් කරගැනීමට ඉඩ සැපයේ. එය අනවශ්‍ය ප‍්‍රමාද සහ කාලය නාස්ති කිරීම වලකයි. 2014 දී අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනතාව මුල්‍යකරණයට නතු කරගැනීමේ ප‍්‍රයත්නය වේගවත් කළේය. ඔහු බලයට පත්වීමෙන් පසු උදා වූ පළමු නිදහස් දිනයේ දී මහා මන්ත‍්‍රී ජන ධන නමින් බැංකු ගිණුම් ක‍්‍රමයක් හදුන්වා දුන් අතර ගිණුමක් රහිත අවුරුදු දහයක සිට ජ්‍යෙශ්ඨ පුරවැසියන් දක්වා අයවලූන්ට බැංකු ගිණුම් ආරම්භ කරවීය. ඉන්දියාවේ භාවිතය අනුව අගමැතිවරයා මහා මන්ත‍්‍රීවරයා වශයෙන් හැදින්වේ. අගමැතිවරයා ගේ දැක්ම අනුව මුල්‍යකරණය වේගවත් කෙරිණ. සතියක් තුළ ජන ධන ගිණුම් මිලියන 15 ක් ආරම්භ කළ අතර එය ගිනස් වාර්තාවකි. 2021 අවසන්වන විට ගිණුම් ප‍්‍රමාණය මිලියන 417 ක් මෙම යෝජනා ක‍්‍රමය අනුව ආරම්භකර තිබුණි. ගිණුම් හිමියන්ට ගනුදෙනු කළ හැකි ඩෙබිට් කාඞ්පතක් නිකුත් කළ අතර ඉන්දීය රුපියල් තිස් දහසක ජීවිත රක්ෂණයට හා ඉන්දීය රුපියල් ලක්ෂයක හදිසි අනතුරු රක්ෂණාවරණයකට ද ඇතුලත්වීමේ වරම ද ප‍්‍රකාශයට පත් කර තිබුණි. අවස්ථා අහිමිව සිටි ජන කොටසක් ආර්ථිකයට සම්බන්ධ කෙරෙන විශේෂ උපායක් වශයෙන් දැක්විය හැකිය. එහි අවස්ථා ලැබු ජනතාව කොවිඞ් තත්ත්වය හෙයින් ලොක් ඩවුන් වූ ඉන්දියාව තුළ වරප‍්‍රසාදිත තත්ත්වයට පත්වූහ. බැංකු කටයුතු නතර වී ඒවා දොරගුලූ ලා තිබිය දී ඩෙබිඞ් කාඞ් සහිත අලූත් ගිණුම්හිමියන් තාක්ෂණය භාවිතා කර ගනුදෙනු වලට ප‍්‍රවේශ වූ අතර ඖෂධ හා ආහාර මිල දී ගැනීම බිල්පත් පියැවීම වැනි කටයුතුවල දී ඉදිරියෙන් සිටියහ. එය සමාජ හා ආර්ථික පරිවර්තනයකට ඉඩ සැපැයීය.

ඉන්දියාව ආරම්භ කර ඇති මුල්‍ය පද්ධතියට ජනතාව ඇතුලත්කරණ සැලැස්ම අනුව ඉතුරුම් ක‍්‍රම හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවලට අවස්ථාව ලැබේ. හදිසි අවස්ථාවක තාවකාලික ණය පහසුකමක් ලබාගැනීමේ අවකාශය ස්වයංක‍්‍රීයව හිමිවේ. එය අනවශ්‍ය පොලී සහ ඇප සහිත බාහිර ණයවලින් ගැලවෙන්නට ඉඩ ලැබෙන පිලිවෙලකි. ජීවිත හා දේපොල රක්ෂණය සදහා පහසුව සැපසේ. මෙවැනි ක‍්‍රම වලට ඇතුලත්වීමට අවශ්‍ය්‍ය පිටිවහල මුල්‍ය පද්ධතියට ඇතුලත්කරණය මගින් හිමිවන අතර දැනට ඉන්දීය ජන සමාජයෙන් මිලියන සංඛ්‍යාත පිරිසක් එහි වාසි හදුනාගෙන ඇත.

ජී. 20 සමුළුවේ සභාපතිධුරයට පත් ඉන්දියාව ලෝකයේ දියුණුවන මුල්‍ය හා ආයොජන අංශවලට සිට පුරවැසියන් ඇතුළු කරන පියවර අනුගමනය කිරීමට සූදානම් වෙයි. කොවිඞ් ලොක්ඩවුන් තත්ත්ව සමග බිද වැටුණු ගෝලීය ආර්ථිකය ගැන අවධානය යොමු කරන ඉන්දීය බලධාරීහු නැවත වර්ධනය වන ලෝක තත්ත්වයට තාක්ෂණය පිටිවහලක් බව හදුනාගෙන තිබේ. විශේෂයෙන් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ තැනක තිබිය යුතුය. අවාසි සහ අලාභ මගහැරගැනීම සදහා තාක්ෂණය භාවිතා කෙරේ.

ශ‍්‍රී ලංකාවේ මුල්‍ය හා ආයෝජන ක‍්‍රම එහි නිරත වරප‍්‍රසාද සහිත පිරිසකට සීමා වී ඇත. සම්පත් බැංකුව ආරම්භ කිරීම සමග ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර හදුන්වා දුන් අතර දැන් ශ‍්‍රී ලංකාවේ බැංකුවල කටයුතු අනුව තමන්ගේ ගිණුම හසුරුවන අවස්ථාව ගනුදෙනුකරුවන්ට ලැබී ඇත. කෙසේ නමුත් මෙම පරිවර්තනය සමහ සම්බන්ධ නොවූ පිරිසක් සමාජයේ සිටී. මුල්‍යකරණයට දුරස්ථය. ගනුදෙනු සදහා තවමත් ආසන්නයේ සිටින පොලී මුදලාලි සමග කටයුතු කරන සැලකිය යුතු පිරිසක් සිටී. වී ගොවිතැන් කරන ගොවීන් ගේ අකාර්යක්ෂම මුල්‍යකරණය ආදායම පිරිහීමට හේතු වශයෙන් අනාවරණය කරගෙන ඇත. දිනපතා ණයට මුදල් ගෙන ඒවා පියවා වෙළදාම් කරන ව්‍යවසායක පිරිසක් ද රට තුළ සිටී. ඔවුහු බැංකුවල ඇති කොන්දේසි හා විධිවිධාන හෙයින් දුෂ්කරතාවයකට පත්ව ඇති බව පෙන්වා දිය යුතුය. ජාතික ආර්ථිකයට එපිටින් මුදල් ප‍්‍රවාහයක් පැවැතීමට එය හේතුවක් වී තිබේ. ව්‍යවසාය සදහා ප‍්‍රාග්ධනය සපයා ගැනීම දුෂ්කර තරුණ පිරිසක් අප අතර සිටී. බැංකුවක දී ඇප කොන්දේසි, වත්කම් හා ව්‍යාපෘති වාර්තා සලකා බලන අතර මහත් උත්සාහයකින් ආර්ථිකයට ඇතුළුවන්නට උත්සාහ කරන පිරිස් හිරිහැරයට ලක්වේ. මේවා විශේෂයෙන් අධ්‍යනය කළ යුතු අංශ වශයෙන් සැලකිය යුතුය. තරුණ ව්‍යවසායකයන් ගේ අවස්ථා මගහැරෙන අතරවාරයේ අනවසර මුල්‍ය සමාගම් සමග ගනුදෙනුවල නිරත පිරිස ගැන ද වරින් වර වාර්තා වේ. වානිජ බැංකුවල පිලිගත් මුලධර්ම ඉක්මවා නොගැලපෙන මුල්‍යකරණ කටයුතුවලින් පාඩම් ඉගෙන ගත් අවස්ථා බහුල සමාජයකි.

ආර්ථික අර්බුදයකට මුුහණ පා සිටින ශ‍්‍රී ලංකාව එයින් ගැලවෙන ප‍්‍රයත්නයක පසුවේ. ඉදිරියේ දී තත්ත්වය යහපත් වනු ඇත. ආර්ථික හා මුල්‍ය වාතාවරණය වේගවත් කිරීමට තාක්ෂණය භාවිතා කළ යුතුය. මුල්‍ය පද්ධතියට ජනතාව ඇතුලත් විය යුතුව තිබේ. මුල්‍ය අංශයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ජන සමාජයට අවස්ථා ඇති කරන බව සදහන් කිරීම වැදගත්ය. දශක කිහිපයකට කලින් බැංකු හා මුල්‍ය කටයුතුවලට වඩා වෙනස්කම් අද අප හමුවේ ඇත. ආයෝජන, රක්ෂණය, විශ‍්‍රාම වැටුප්, තැන්පත් ක‍්‍රම හා බැංකු ගනුදෙනුවල වරප‍්‍රසාද අත්පත් කරගත හැකි අලූත් සමාජ රාමුවක් රටට අවශ්‍ය කෙරේ. බැංකු හා මුල්‍ය පද්ධතිය තුළ ඇති කරන නවීනකරණය හා නම්‍ය ස්වභාවය එයට පහසුකම් සලසනු ඇත. තරුණ ජන කොටස් ඉදිරියට පැමිණ අවස්ථා ලබාගත යුතු බව මෙහි දී සදහන් කළ යුතු අතර අවශ්‍ය ක‍්‍රමවේද වහා සම්පාදනය ප‍්‍රතිපත්ති සම්පාදකයන් ගේ වගකීමකි.