» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/07/2025 - ඉරිදා ලංකාදීප
රාජ්‍යයක පැවැත්ම සඳහා සමාජ සාරධර්ම සහ සංස්කෘතික සම්මත

මානව වංශකතාව එක්තරා ආකාරයක දීර්ඝ සංචාරයකි. තවමත් ගවේෂණය කරමින් පවතින අතීතයක සිට කෙළවරක් නොපෙන්වන ගමනාන්තයක් දක්වා දිග හැරෙමින් තිබේ. එම වංශකතාවේ එකිනෙකට වෙනස් යුග ගණනාවකි. එම යුගවල ක්‍රියාකරන ලද ආකාරය විදහා දක්වන පිළිබිඹු බොහෝ ඇත. අනන්‍ය ලක්ෂණවලින් සමන්විත මෙම යටගියාව කෙරෙහි ගෞරවයක් ඇත. භාෂාව, ආගමික විශ්වාස සහ සංස්කෘතික පැවැතුම් මෙහි දී සලකා බැලිය හැකිය. එකී පසුබිම මහත් පරිශ්‍රමයකින් ආරක්ෂා කෙරේ. සම්ප්‍රදායයෙන් පැවැත එන ලක්ෂණවලට ගරුකරන අතර එහි එකිනෙකට බැඳී ඇති පද්ධති අනුව ක්‍රියාකිරීමට කැපවී සිටී. ඉහළම බුද්ධියක් සහිත කාක්ෂණික යුගයකට ඇතුළුවන සහ දැනුම් සම්භාරයක් සමග ඉදිරියට යන මිනිසුන්ට හදවතක් - ආත්මයක් අවශ්‍යය. අනන්‍ය සංස්කෘතික ලක්ෂණ මගින් එම අවශ්‍යතාව සම්පූර්ණ කරන බව සඳහන් කළ යුතුව ඇත.

ආර්ථික බලවත්භාවය අනුව ඉදිරියෙන් සිටින රටවලට වඩා දීර්ඝ සහ ගැඹුරු ඓතිහාසික වටපිටාවක් අපට ඇත. එය ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ කොටසකි. විභූතිය, පෞඩත්වය හා අසමසමභාවය මෙරට පැරණි යටගියාව මතුකෙරෙන ලක්ෂණ අතර තිබේ. අනන්‍යතාව විවිධාකාරයේ මිශ්‍ර ලක්ෂණවලින් ද යුක්තය. වරින්වර සිදුවූ විදේශ ආක්‍රමණ හේතුකොටගෙන මෙම ස්වභාවය උද්ගත වී තිබේ. පසුකාලයක අධිරාජ්‍යවාදීහු ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරගෙන සිටියේය. එම බලපෑම අද දක්වාම කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ ඇවැතුම් පැවැතුම් යනාදී අංශ ආවරණය කරගෙන පැතිරී ඇත. නිදහස ලබාගැනීමත් සමග සැලකිය යුතු සමාජ පරිවර්තනයක් අරමුණු කරන ලද නමුත් විජාතික ලක්ෂණවලින් ගැලවී ඉහළට එසැවීම ගැන සම්පූර්ණ පරිශ්‍රමයක් තවමත් නැත.

ශ්‍රී ලාංකේය පිලිවෙතක් ගොඩනැගීම සඳහා මෙරට ජාතික හා ආගමික නායකයෝ සැලකිය යුතු වෑයමක් දරා තිබේ. ආණ්ඩු, සිවිල් සංවිධාන, ජන නායකයන් සහ විශේෂයෙන් ආගමික නායකත්ව තවදුරටත් එහි ලා වෑයම් කරමින් සිටිති. එක අරමුණක්, අධිශ්ඨානයක් රහිතව ඉදිරියට යා නොහැක. එකඟතාවයක් රහිතභාවය සමාජයේ පවතින බෙදීම්වලට මුලික සාධකයක් වී තිබේ. එකඟතාව ඇති කිරීම සඳහා අප සියළුම දෙනා ගරුකරන පොදු අනන්‍යතාවය හඳුනාගෙන එය ඔසවා තැබිය යුතුවේ. ජාතිය, ආගම, කුලය, දේශපාලනය සහ පැලැන්තිය වශයෙන් බෙදී ඇති මෙරට ජන සමාජය එකතු කිරීම සඳහා ශ්‍රී ලාංකේය අරමුණ ඉදිරියෙන් තැබිය යුතුව ඇත.

බලයට පත්වන ආණ්ඩු ශ්‍රි ලංකාවේ ස්වභාවය හා ජනතාවගේ විඥාණය හඳුනාගත යුතුවේ. ඡන්දය පාවිච්චි කර මහජන නියෝජිතයන් තෝරාගැනීමෙන් පමණක් සම්පූර්ණ පරිවර්තනයකට පත්කිරීමේ වරමක් ලැබෙන්නේ නැත. සම්ප්‍රදාය වෙනස්කරන බලපතල තීන්දු එයින් අදහස් කෙරේ. පැවැත්ම සඳහා මෙරට ව්‍යවස්ථාව හා අධිකරණය අනුව නෛතික රාමුවක් ඇත. සමාජ සම්මතය හා ඉතිහාසයෙන් පැවැරෙන වගකීම එයට වඩා බරපතලය. විවිධ අවස්ථාවල මහජන අභිමතාර්ථ නොසලකා, ඔවුන්ගේ හැඟීම්වලට අභියෝග කරන ලද ආණ්ඩු අවසානයේ දී අමතක නොවන පාඩම් ඉගෙන ගෙන තිබේ. ලෝකයේ ප්‍රවණතා අනුව සම්ප්‍රදාය ආරක්ෂා කරන අතර සංස්කෘතික වටිනාකම්වලට ගරුකරන ප්‍රතිපත්ති පවතී. ඉන්දියාව, ජපානය, බි්‍රතාන්‍ය, තායිලන්තය ඇතුළු රටවල මෙම ස්වභාවය දැකගත හැකිය.

ආගමික විශ්වාස, සංස්කෘතික බැඳීම් කෙරෙහි ඉන්දියාවේ තිබෙන විශේෂ නැඹුරුව අධ්‍යයනය කිරීම වැදගත්ය. සඳ තරණයකරන ඉන්දියාව සඳ අරමුණු කරගෙන පවතින ඇදහිලි, වතාවත් පසෙකට කරන්නේ නැත. රාමායනය දැවැන්ත වීරකාව්‍යයකි. එය අදහන සමාජය නිගරු කොට සලකන දේශපාලනයක් ඉන්දියාවේ නැත. දැවැන්ත කෝවිල්, දේවාල, ඒවායේ අධිපතිභාවය, ඉන්දීය රජයට අත තැබිය නොහැකි තරමට විශාලය. ඒවායේ ධන සම්පත් සහිත ආකෘතිය ආක්‍රමණය කිරීමට දේශපාලනික වශයෙන් ඉතා ප්‍රබල ඉන්දීය දේශපාලන නායකත්ව උත්සාහ කරන්නේ ද නැත. තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාව ඉක්මවන බලයක් රජ පරපුරට ඇත. යුක්තිය හා සාධාරණත්වය සම්බන්ධ තීන්දුව එතැනින් අපේක්ෂා කෙරේ. බෞද්ධ ආගමික බලය ද විශේෂිතය. සංඝරාජ ධුරයට අසීමිත බලතල තිබේ. ශාසනික කටයුතු සඳහා සෘජු මැදිහත්වීමක් ද තීරණ ගැනීමේ හැකියාවක් ද සහිතය. තායි ආණ්ඩුව මෙම බලය ආපසු හැරවීමට උත්සාහ කරන්නේ නැත. බි්‍රතාන්‍යය නීතියට ද ඉහළ සම්ප්‍රදාය තිබේ. ලිඛිත ව්‍යවස්ථාවක් නැත. නීතිය හා දීර්ඝ කාලයක් අනුගමනය කරන සම්ප්‍රදාය කිසිසේත් උල්ලංඝනය කරන්නට සූදානමක් නැති සමාජයකි. මෙම පැතිකඩ පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම අවශ්‍යය.

අපගේ රට තුළ පවතින තත්ත්වය සලකා බලන පසු මෙරට සංස්කෘතිය, උරුමය හා සමාජ විනය සඳහා බුදු දහමේ බලපෑම බැහැර කළ නොහැක. වැව, දාගැබ හා ගම පන්සල යන පරිශ්‍ර සම්බන්ධ වී තිබේ. අධ්‍යාපනය, ආශීර්වාදය, උපදේශනය, මගපෙන්වීම හා සමාජ විනය පන්සල කේන්ද්‍ර කොටගෙන පැවැතිණ. ලංකාව යටත් කරගැනීමේ දී බි්‍රතාන්‍ය නියෝජිත ජොන් ඩොයිලි මෙරට අනන්‍යතා අධ්‍යයනය කළේය. සිරි දළදා වහන්සේ රාජ්‍යත්වය තහවුරු කරන සංකේතය බව බි්‍රතාන්‍යයට අවධාරණය කරන ලද බව මතක් කළ යුතුය. රජකම සමග දළදා වහන්සේගේ අයිතිය පැවැරී තිබුණි. ඉංග්‍රීසි අධිරාජිණියට එය සතුකරගත නොහැකි පදනම මත වෙනම ක්‍රමවේදයක් සකස් කොට දියවඩන නිලමේ ධුරයක් ඇති කළේය. එම ධුරයට තෝරාගන්නා පිලිවෙලක් සකස් කරන ලද අතර අදටත් අනුගමනය කෙරේ. ලංකාව යටත් කරගත් විදේශිකයන් ක්‍රමයට අභියෝග කිරීමෙන් ජනතාව නැවත වටයකින් ශක්තිමත් වන අතර පාලනය කළ නොහැකි වන බව හඳුනාගෙන තිබුණි. දළදා මාලිගාවේ හෝ වෙනත් විහාරස්ථානයක තිබුණ දේපොල අයිතිකරගැනීමට ප්‍රබලව ක්‍රියා නොකරන ලද බි්‍රතාන්‍ය උපායශීලීව ලංකාව යටත් කරගැනීමට සමත්විය.

මෙම අභ්‍යන්තරය, සංස්කෘතික වටපිටාව හා ජන පදනම්වලට අභියෝග කිරීම ඉතාම සුදුසු තත්ත්වයක් නොවේ. වරින්වර බලයට පත්වන ආණ්ඩු සමාජ සම්මතය වෙනස්කර ස්වකීය අනන්‍යතා ඇතිකරන්නට උත්සාහ කරන බව පෙනේ.

බුද්ධ දර්ශනය ඉතා ගැඹුරුය. එය මතුපිටින් සලකා බැලීම නොවටී. බුදුන් වහන්සේ සුද්ධෝදන රජතුමන් හට ප්‍රකාශ කරන ලද පරිදි ශාක්‍ය වංශය හා බුද්ධ වංශය වශයෙන් බෙදීමක් තිබේ. බුදු දහම අනුව අත්හැරීම ඉතා ප්‍රබල සංකල්පයකි. රාජ්‍යයට අත්හැරීමක් නැත. එකතුකරන වපරිසය අනුව බලය නිර්මාණය වේ. ධනය හා බලය එකතුවන අතර ඒවා පාලනය කිරීම ආණ්ඩුකරණයේ ප්‍රධාන ලක්ෂණයකි. පන්සල, කෝවිල හෝ පල්ලිය ඔවුන්ගේ පරිපාලන ව්‍යුහයට යටත්ව තිබීම සුදුසුය. ජනතාව සිය පුණ්‍ය කටයුතු සලකා අත්හැරීමේ ලක්ෂණ ඉදිරියෙන් තබාගෙන පූජාකරන දෙයක් පසුව ආණ්ඩුවකින් ගණන් බැලීම පිලිගත හැකි තත්ත්වයක් නොවේ. ඇතැම් අවස්ථාවල මහා විහාරය, දේවාල හා තවත් පූජණීය ස්ථානවල අභ්‍යන්තරය පරීක්ෂා කර ඒවා විගණනය කිරීමට උත්සාහ කර තිබේ. දෙස් විදෙස් පරිත්‍යාග රාජ්‍ය භාරයක් වශයෙන් සැලකීම පිලිවෙත නොවේ. ආගමික යාන්ත්‍රණය සඳහා නීති පැනැවීම උචිත තත්ත්වයක් නොවේ. ලෝකයේ සෑම රටකම ආගමික ස්ථාන සම්බන්ධයෙන් පොදු සම්මුතියක් තිබේ. මහජන ගරුත්වයට අභියෝග කිරීමේ බලය මහජනතාව පවරා නැත. නීති විරෝධී සිද්ධියක දී මැදිහත්වීමේ අයිතිය තිබෙන අතර සමාජ සම්මුතීන්ට අත තැබීමෙන් පසු ඇති විය හැකි සංකීර්ණ ප්‍රවණතා නොසලකා හැරිම සුදුසු තත්ත්වයක් නොවේ.

මහජන අභිමතාර්ථ සම්බන්ධයෙන් අවසාන විනිශ්චයක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ එම අභිමතාර්ථ සඳහා වටිනාකමක් ලබා දිය යුතුවේ. විහාරයක, දේවාලයක හෝ කෝවිලක කටයුතුවලට මැදිහත්වීම තුළ සීමාව නීර්ණය කරගැනීම වැදගත්ය. දේශපාලන බලය විසුරුවන අවශ්‍යතාව ඉදිරියේ සංස්කෘතික වපසරිය හා සම්ප්‍රදායික ස්වභාවය ඉක්මවන පරිදි තීරණ ගැනීම අනුචිතය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.

මිලින්ද මොරගොඩ