» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/08/2025 - ඉරිදා ලංකාදීප
විධායක ජනාධිපති ධුරය අහෝසිකරන සිහිනය තව දුරටත්

ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැන නැවත වටයකින් සාකච්ඡා ආරම්භ වී තිබේ. ඉතා තීරණාත්මක අවස්ථාවක රට මුහුණ පා ඇති සංකීර්ණ ගැටළු ගණනාවකි. ව්‍යවස්ථාව වෙනස් කිරීම ඒවාට උත්තරයක් නොවේ. ව්‍යවස්ථාවේ කරුණු මතුපිටින් සැලකීම වෙනුවට අභ්‍යන්තරය හඳුනා ගත යුතුවේ. ජනතාව මහත් පීඩනයකය. ජීවන වියදම, රුකී රක්ෂා හිඟය සහ අධික බදු ඒ අතර ප්‍රධාන තැනක් ගෙන ඇත. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන සහ බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල පවතින ප්‍රශ්න විසඳී නැත. මහා මාර්ගයේ සිදුවන දරුණු අනතුරු සහ අපරාධ සිද්ධි තවත් පැත්තකින් විශාල පීඩනයක් එල්ල කොට තිබේ. ව්‍යවස්ථා සංශෝධනය ප්‍රබල මහජන අවශ්‍යතාවයක් නොවේ.

කේවල ඡන්ද ක්‍රමයක් යටතේ අගමැතිධුරයක් 1948 වසරේ සිට 1978 දක්වා අවුරුදු තිහක කාලයක් තිබුණි. 1978 වසරේ දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථාව සංශෝධනය කළේය. විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික නියෝජනය සහිත ව්‍යවස්ථාවක් වූ අතර එය දශක පහකට ආසන්න කාලයක් ක්‍රියාත්මකය. මුළු රටම ඡන්ද කොට්ඨාශයක් වශයෙන් සලකා ඡන්ද දායකයන්ගේ වැඩි කැමැත්තෙන් තෝරාගන්නා විධායක ජනාධිපතිවරයෙකු රට පාලනය කර තිබේ. මෙම ව්‍යවස්ථාව පසුගිය කාලය තුළ විවිධ හේතු මත එය සෑහෙන වතාවක් සංශෝධනය කර ඇත.

ඇමරිකාව, ප්‍රංශය, බ්‍රසීලය, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකානු රටවල් ගණනාවක විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මකය. ඇමරිකානු ජනාධිපතිවරයා බලය පාවිච්චි කළ යුතු නායකයෙකු බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ අනුගාමිකයන් කියා සිටී. එය ‘යුනිටරි එක්සෙකටිව්’ යනුවෙන් අර්ථ දක්වති. ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් ඇමරිකානු ජනාධිපති ගේ බලය පාලනය කරන අතර එය සුදුසු නැති බව ට්‍රම්ප් කණ්ඩායමේ මතය වී තිබේ. අගමැති තනතුරට බලය ලැබෙන රටවල් ද තිබේ. සිංගප්පූරුව දියුණු කිරීමට අගමැති ලී ක්වාන් යූ සමත්විය. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ධුරයේ කටයුතු කරමින් සැලකිය යුතු පරිවර්තවනයක් කර තිබේ. බි්‍රතාන්‍යයේ අගමැතිවරුන්ගේ ලේඛනය පිරික්සීමෙන් පසු එහි දී ද අගමැතිවරුන්ගේ වගකීම් හා කාර්යය ඉතාම පැහැදිලිය.

ව්‍යවස්ථාව, විධායක ජනාධිපති හෝ පාර්ලිමේන්තුවට වගකියන අගමැති වැනි ප්‍රශ්න ඉතාම වැදගත් නැත. ජනවරම උපයෝගී කරගැනීමට නිර්මාණය වන පරිසරය ඉතාම වැදගත්ය. තනතුරු දෙකින් එකක් පැහැදිලිව තෝරාගත යුතුවේ. ජනාධිපතිවරයෙකුට මුළු රටම ජාති, ආගම් බෙදීමක් රහිතව ඡන්දය ලැබෙන අතර එය පුලුල් නායකත්වයකි. අගමැතිවරයා කැබිනට් ප්‍රධානියාය. ඔහු පත් කර ගැනීමේ දී සමාජ බෙදීම් සලකා බැලේ. ශ්‍රී ලංකාව වැනි බෙදීම් බහුල රටක තිබිය යුතු තද නායකත්වය ගැන තීරණයක් ගැනීම සුදුසුය.

ජනාධිපති හෝ අගමැති යන ඕනෑම තනතුරකට ජනතාව පවරන බලය භාවිතා කිරීමට ඉඩකඩ අවශ්‍යය. තනතුරට පත් කරගත යුතු අතර ඒවායේ බලය අඩුකරන තීරණවලින් පලක් නැත. විධායක ජනාධිපතිවරයෙකු පත්කරගන්නා ව්‍යවස්ථාව ඔහුගේ බලය අඩුකර අතර තනි තීන්දු ගත නොහැකි තත්ත්වයට බවට පත් කර තිබේ. බලය නැති විධායක ධුරයකින් පලක් නැති බව පසුගිය කාලයේ පැවැත්ම පෙන්වා දී ඇත. තීරණ ගැනීමට බලකරන නමුත් පසුව එම තීරණ අභියෝගයට ලක්වන අවදානමක් තිබේ. ව්‍යාපෘතියක් අනුමත කිරීම, නිලධාරියෙකු ඉවත් කිරීම හෝ ජනාධිපති සමාව වැනි කරුණු පවා ප්‍රශ්න කරන විධායක බලයෙන් නායකයෙකු ගේ හැකියාව අඩු කරයි.

රටට අවශ්‍ය විධායක ජනාධිපති ධුරයක් ද නොඑසේනම් අගමැති ද යන්න පැහැදිලි කරගත යුතුව තිබේ. විධායකයට ද ව්‍යවස්ථාදායකයට ද යන සමාජ එකඟතාව අවශ්‍යය. තමන්ට ගැලපෙන පාලකයා තෝරාගැනීමේ වගකීමක් ජන සමාජයට ඇත. සමාජයේ ඇතැම් කොටස් විවේචනය කරන නමුත් ප්‍රශ්න විසඳන්නට ඉදිරිපත් වෙන්නේ නැත. මෑත කාලය තුළ කරන ලද සංශෝධන අනුව ස්වාධීන කොමිෂන් බලගන්වා ඇත. මහජනතාවට උවමනා පුද්ගලයෙකු නියෝජිතයා වශයෙන් පත්කරගත් පසු ඔහු සුදුසු නැතිනම් ඉවත් කිරීමට හැකිය. ඡන්දය නොලැබෙන විට ප්‍රතික්ෂේප වේ. මහජන නියෝජිතයන්ට ජනතාවගේ දුක වේදනාව දැනෙන අතර ජනතාවට සමීප පිරිසකි. පාක්ෂිකයන්ට සීමාවන හෙයින් නිර්පාක්ෂික නිලධාරීන් සුදුසු බව තීන්දු කර ඇත. මහජන නියෝජනයක් රහිත නිලධාරීන් ගෙන් දේශපාලනඥයන් කරන කැපවීම අපේක්ෂා කළ යුතු නැත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශ ව්‍යවස්ථාවලින් මූලාශ්‍ර ලබාගෙන තිබේ. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු අංග ද ඇතුළු කර ඇත. එම ව්‍යවස්ථාව සෑහෙන වතාවක් සංශෝධනය කර තිබේ. ආණ්ඩුවල පටු අරමුණු අනුව එම සංශෝධන කරන ලද බව පැහැදිලිය. විවිධ සංකල්ප මිශ්‍ර කර සකස් කරන ලද ව්‍යවස්ථාවක් රටට ගලපා ගැනීම අපහසු වී තිබේ. ජනාධිපතිධුරයේ වගකීම් හා බලතල, අගමැති හා කැබිනට් මණ්ඩලයේ වගකීම, නිලධාරීන් හා ආයතන පද්ධතිය යනාදී සියල්ල පැටැලී ඇති අතර රටට සේවයක් නොලැබෙන ක්‍රමයක් බව ජනතාව තීන්දු කොට තිබේ. මේ නිසා දේශපාලනඥයන් එපා වී ඇති අතර ආණ්ඩු කෙරෙහි විශ්වාසය බිඳ වැටී තිබේ. සිස්ටම් වෙනස්කරන බලකිරීම පිටුපස මෙකී අතෘප්තිය තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හා ඒවා නියෝජනය කරන දේශපාලනඥයන් සම්බන්ධ විශ්වාසය නැවත ගොඩනගාගත යුතුව ඇත. ව්‍යවස්ථාව හා පාලන ක්‍රමය ගැන පැහැදිලි රේඛා වෙන්කරගත යුතුවේ.

ලෝකයේ සෑම රටකම ක්‍රමය ගැන ප්‍රශ්න ඇත. සාකච්ඡාවෙන් අලුත් ප්‍රතිපත්ති හඳුන්වාදීමෙන් ඒවා නිරාකරණය කරගෙන තිබේ. නූතන සමාජ මාධ්‍ය භාවිතාව මෙම ස්වභාවය උත්සන්න කර තිබේ. සාධාරණ විවේචනය වෙනුවට අන්තවාදී විවේචනයෙන් ඇතිකරන පීඩනය දරුණුය. ප්‍රජාතන්ත්‍රවාදය අනුව වැඩි දෙනෙකු පිලිගන්නා ක්‍රමයක් අවශ්‍යය. සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථා ලැබෙන බව පිලිබිඹු විය යුතුව තිබේ. සංකීර්ණ තත්ත්ව සලකා බලආකෘතිය සීමාකරන අවකාශ මෑත කාලයේ ගැටළුවකි. තීන්දු ගැනීමට දුර්වල, බලය පිලිබිඹු නොවන පාලන ක්‍රම අවසානයේ දී අග හිඟකම් සහිත තැනකට සමාජය පත්ව ඇත.

ක්‍රමය සම්බන් පුලුල්ව අවබෝධයක් රටට අවශ්‍යය. මහජන ඡන්දයෙන් පත්කරනන්නා නායකයන්ගේ හෝ ආණ්ඩුවල බලය සීමාකිරීමෙන් පසු විශාල පරිවර්තනයක් අපේක්ෂා කළ නොහැක. දේශපාලනඥයන් පත් කර ගෙන පසුව චෝදනාකරන සංස්කෘතියකින් රටක් දියුණුවෙන්නේ නැත. විධායක බලය ඇති ජනාධිපතිවරයෙක් ද නැත්නම් පාර්ලිමේන්තු ක්‍රමය තුළ අගමැති ප්‍රධාන කොටගත් කැබිනට් මණ්ඩලයක පාලනයක් ද වෙන් කරගත යුතුව තිබේ. මෙම ක්‍රම දෙකම සාර්ථක වී ඇත. මෙම දෙකම මිශ්‍ර කරන අතර දෙපැත්තටම බලය නැති පාලනයකින් ඉහළම ප්‍රතිපල බලාපොරොත්තුවීම ශ්‍රී ලංකාවේ ස්වභාවය බව පෙනේ. සිවිල් සමාජය, ජන නායකයන් සහ ආගමික නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නැවත බලගන්වන අතර නිවැරදි මගට ගන්නා ආකාරය ගැන සාකච්ඡා කළ යුතුව තිබේ. ව්‍යවස්ථාව වෙනස් කරන විධායක බලය අහෝසි කරන ප්‍රකාශවලින් පමණක් අලුත් පරිවර්තනයක් රටට ලැබෙන්නේ නැත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.

මිලින්ද මොරගොඩ